ජවිපෙ බෙදීම ගැන කතා එමටය, ලියැවුනු බ්ලොග් ලිපිද, පුවත් වෙබ් අඩවි වල ලිපිද එසේමය. මේ සියලු රචනා ජවිපෙ අර්බුධය විවිධ පැතිකඩයන් ඔස්සේ, විවිධ කෝණ ඔස්සේ නිර්වචනය කරයි.
88-89 විනාශයෙන් පසු ජවිපය පෙනී සිටියේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී, ශ්‍රිලනිප හා එජාප සාම්ප්‍රදායික පක්ශවලට වඩා මහත්වූ විනයක් පවත්වාගෙන යන ක්‍රියාශීලී, ප්‍රගතිශීලී පක්ශයක් ලෙසය. වෙනත් පක්ශවල ගැටුම් ඇතිවෙනවිට, නායකත්වය පිලිබඳව කඹ ඇදීම් ඇතිවෙනවිට ජවිපය ඒවා දෙස බලා සිනාසුන අන්දම, බක පණ්ඩිත කතා කියූ අන්දම, එම පක්ශවල නායකයින්ට, සටන්කරුවන්හට අපහාස උපහාස උසුලු විසුලු කල අන්දමද අපට මතක ඇත.
දේශපාලන බලු පොර අපේ පක්ශයේ නැතැයි කියූ අයගේ බලු පොරය
දැන් ජවිපයේ කයිවාරු රෙදිපල්ලෙන් දෝරේ ගලාගෙන යන අයුරු දකින විට එක්තරා විදියක කාළකන්ණි සතුටක් ඇතිවෙන්නේ ජවිපෙ බෙදීම ගැන ඇති සතුට (ජවිපේ බෙදීම ගැන ලේඛකයාට ඇත්තේ කණගාටුවකි ) නිසා නොව දිට්ඨධම්මවේදනීය කර්මය ජවිපයට පටිසන්දී ඇති නිසාය.
ජවිපෙ ඉන්නේත් ඔය අනෙක් පක්ශවල ඉන්නවාක් මෙන් ඇට, ලේ, මස් ඇති, ඊර්ශ්‍යයාව ක්‍රෝධය, වෛරය, ආත්මාර්ථකාමී පෞද්ගලික අභිලාශයන්ගෙන් පිරුණු මිනිසුන් මිස ජවිපෙ මෙතෙක් කල් ලොවට පෙන්වාගෙන ගිය ලෞකික ආශාවන් නොමැති, පඩිය පවා පක්ශය වෙනුවෙන් කැපකරන, පරාර්ථකාමී මිනිසුන් නොවන බව දැන් පැහැදිය.
එක් අතකට ජවිපය තුල සිටින්නේ ප්‍රශ්ණකිරීමකින් තොරව අණ පිලිපදින මොල සේදුනු දේශපාලන සොම්බීවරු (political zombies) නොව අනෙක් පක්ශ වල මෙන්ම මිනිසුන් බව පැහැදිලිවීම සැනසිල්ලකි.
ජවිපයේ බෙදීමේ අවාසිය රටටය
ජවිපයේ බෙදීමට මා සිතතුල කිසිසේත්ම සතුටක් නැත. ඒ මම ජේවීපී කාරයෙකු නිසා හෝ ආධාරකරුවෙකු නිසා නොව ජවිපයේ බෙදීම රටට අවාසියක් නිසාය. ජවිපය මේ රටේ තුන්වන බලවේගයයි. එජාපය සෙළවෙන දතක් මෙන් අස්තිරව වැනන මේ මොහොතේ ශක්තිමත් ජවිපයක් නොමැතිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමටත් මහත් බාධාවකි. ජවිපෙ ශක්තිමත්ව සිටිනතාක් දළ බිඳුනු එජාපයේ අඩුව යම් පමණකින්හෝ පුරවාදෙනු ලැබීය. එහෙත් දැන් රාජපක්ශලා තව තවත් ශක්තිමත් වනු ඇති අතර ජවිපයේ මේ බිඳීම අවස්ථානුකූලව ප්‍රයෝජනයට ගෙන තව තවත් මර්ධනකාරී, අත්තනෝමතික පියවරයන් වලට ඔවුන් යොමුවීම වැලැක්විය නොහැකිය.
මතවාදී සටනේ සළුපිලි යටින් ඇති පරාජයේ ඉඡ්ඡාභංගත්වය (හෙවත් රනිල් සජිත් සටනට ඇති සමානකම )
ජවිපෙ සටන සෝමවංශ-ටිල්වින් කාණ්ඩයේත් කුමාර අයියා කියන අත්භූත චරිතය වටා ඇති කණ්ඩායමේත් මතවාදී ගැටුමක් බවත් මෙය වෙනත් පක්ශවල ඇති අභ්‍යන්තර ගැටුම්වලට වඩා වෙනස් බවත් ජවිපෙ අය මෙන්ම, ජවිපෙ අර්බුධය ගැන ලිපි ලියූ වෙනත් ලේඛකයනුත් ප්‍රකාශකොට ඇත.
මතවාදී ගැටුම් කෙසේවෙතත් මට පෙනෙන ආකාරයට මෙතන ඇත්තේ දිගින් දිගටම පක්ශයේ ජන පදනම හෝදාපාලු වීම පිලිබඳව ඇති ගැටලුවක් හා චන්ද පරාජයන් පිලිබඳව ඇති ඉච්ඡා භංගත්වයකි. මහලු සෝමවංශ හා ටිල්වින් ඇතුලු කණ්ඩායමේ නායකත්වයෙන් පක්ශය ඉදිරියට ගියානම්, චන්ද පදනම වර්ධනය වූවානම්, පාර්ලිමේන්තුවේ නියෝජනය වැඩිවූවා නම් මේ ගැටුම් කිසිවක් කරලියට එන්නේ නැත. බලයට තනතුරුවලට සටන්වදින අයට වීරවංශ මෙන් රජ හා ඩීල් එකක් දමාගෙන එලියට යනවා හැරෙන්නට වෙන විකල්පයක නැත.
රටේ ජනතාව තබා මට හැඟෙන පරිද්දෙන් ජවිපේ පූර්ණකාලීන සාමාජිකයන් පවා මුහුණ දැක නැති, පාරතොටකදී දුටුවොත් හඳුනාගන්නට පවා බැරි, නියම නම කුමක්ද, සිංහලද දෙමළද පවා නොදන්නා මිනිසෙකුට සෝමවංශ පන්නන සටනට නායකත්වය දෙන්නට පුලුවන්වී ඇත්තේ චන්ද පරාජයන් හා වේගයෙන් බිඳවැටෙන ජන පදනම මිස වෙනත් බැරෑරුම් මතවාදී ගැටුමක් නොවන බව මාගේ විශ්වාසයයි. ජවිපය තුල මේ ඇති ගැටළුව එජාපය තුල සජිත් නායකත්වය දෙන රනිල් විරෝධී සටනට සමාන වන්නේ එබැවිනි.
රනිල් යටතේ එජාපය ජය ගන්නවානම්. චන්ද පදනම වැඩිවෙනවා නම්, මන්ත්‍රී අසුන් වැඩේ වෙනවානම් සජිත්ට වෙන්නේ දෙන දෙයක් කාලා රනිල්ට සෑර් කියාගෙන බය පක්සපාතව ඉන්නටය. සජිත් වැනි තරුණ නාම්බෙකුට රනිල් වැනි පලපුරුදු පාතාක යෝධයෙකුට විරුද්ධව සටනක් මෙහෙයවන්නට පවා (දිනුම පැරදුම පැත්තකට දමමු) හැකිවී තිබෙන්නේ රනිල් නායකත්වය යටතේ පක්සය ලබන නිරන්තර පරාජයන් ය. සජිත්ගේ මේ සටන හා කුමාර් මහත්තයා ගෙනියන සටන අතර කිසිදු වෙනසක් නැත්තේ එබැවිනි. කුමාර් මහත්තයා පිල මෙන්ම සජිත් පිල කියන්නේත් පවතින නායකත්වය සමග පක්ශයට ඉදිරි ගමණක් නැති බවත් නායකත්වයේ වැරදී තීන්දු නිසා පක්ශය මහත් පසු බෑමකට ලක්වී ඇති බවත්ය.
සජිත් රනිල් පන්නන්නට යනවිට එය බල ලෝභයෙන් නටනා නාඩගමක් ලෙස අර්ථ දැක්වීමත්, ජවිපේ ඇතුලේ පිල් බෙදී ඇණකොටා ගන්නා විට එය මතවාදී ගැටුමක් ලෙස අර්ථ දැක්වීමත් වැරදි බව මාගේ හැඟීමයි.
රහසිගත දේශපාලනය නැමැති ඔප්ශන් එක නොහොත් අකල්-මරණ වැලඳගැනීමට ඇති ඔප්ශන් එක.
කුමාර් මහත්තයාගේ කණ්ඩායම නැවතත් රහසිගත දේශපාලනය වැලඳගැනීමට යන බවට මතයක් පැතියයි. රජයේ පාර්ශවයෙන් මෙන්ම සෝමවංශලාගේ පාර්ශවයත් මෙම මතය ස්ථිර කිරීමට උතසහ ගන්නා බව පෙනේ.
මෙහි සත්‍යාසත්‍යතාවය මම නොදනිමි.
එහෙත් එවැනි අදහසක් කුමාර් කල්ලිය තුල ඇත්නම් එය වහාම වල දැමිය යුතු විනාශකාරී අදහසකි. 88-89කාලයේ විජේවීරට බැරි වුනාට අපිට පුලුවන් යනුවෙන් සිතනවානම් එය 80දශකයේ මිනිසුන් වන කුමාර්ලාගේ සොහොන් ලකුණු පෙනෙන රොමෑන්තික බහුබූතයකි.
දැන් සිටින්නේ 88-89 කාලයේ සිටි ආරක්ශක හමුදාව නොව ඊට වඩා දහස්ගුණයක් පිරිස් බලයෙන්, යුධමය හැකියාවෙන් මෙන්ම කැපවීමෙන්ද, රටපුරා විහිදුනු සියුම් ඔත්තු-සේවාවකින්ද සන්නද්ධ හමුදාවකි. එම මිලිටරි යන්ත්‍රය හා ඔට්ටු වීමේ හැකියාවක් අද නොව තව වසර 10කින් හෝ ගල්-කටස් සරණ යනවානම් කුමාර්ලාට ගොඩනගාගත නොහැකිබව බව ඔවුන් වටහා ගත යුතුය.
එපමණක් නොව 88-89 ජවිපෙ සන්නද්ධ ත්‍රස්තවාදය වැපිරවූ සමයේදී ජවිපයේ මිනීමරු දේශපාලනය සාධාරණීකරණය කලේත්, එයට ජවය සැපයූවේත් එවක ප්‍රධාන විපක්ශය වූ ශ්‍රී ලනීපයයි. එජාප පාළනය, ජවිපෙ ගොඩගසන මිනී කඳු මතින් පෙරලා දමා තමන්ට බලයට එන්නට පුලුවන් යන මෝඩ විශ්වාසයෙන් එකට ශ්‍රි ලනිප නායකයින්, විශේෂයෙන්ම අනුර බන්ඩාරනායක ඇතුලු කල්ලිය සිටියහ. ජවිපයේ සිවිල් කැරලි-කෝළහාල, උද්ගෝෂණ, බස් කෝච්චි ගිණිතැබීමේ කාළකන්නි මෙහෙයුම් වලට පිරිස් බලය සැපයූවේ අනුර-සිරිමා ඇතුලු ශ්‍රීලනිපයයි.
එපමණක් නොව එකල ජවිපට දේශපාලන හා ප්‍රචාරණ සවිය සැපයූ ජවිපයේ නිළ නොවන ජාතික පුවත්පත වූයේ ශ්‍රිලනිපයට රෙදි නැතුව කඩේගිය දිවයින පත්තරයයි. එජාප දේශපාලකයින් එජාපයෙන් ඉල්ලා අස්වී දැන්වීම් දැමිය යුතු පුවත් පත ලෙස ජවිපය නියමකොට තිබුණේ දිවයින පුවත් පතයි. ජවිපෙ මිනීමරු දේශපාලනය රටට ආදරය කරන කොල්ලන්ගේ දේශප්‍රේමී ව්‍යාපාරයක්, දූශිත දේශපාලඥයින්ගෙන් රට බේරා ගැනීමේ සටනක් බවටත් බෞතීස්ම කලේ දිවයින පත්තරය හා ජවිපෙට බය නිසා හෝ එජාප විරෝධය මත හෝ රාවය, විවරණ, හිරු වැනි සඟරාවන් බව එකල නොවරදවා මේ සියලු සඟරා කියවූ ලේඛකයා හොඳින් දනී (අද පුවත්පතක් වුවත් එකල රාවය සඟරාවකි).
අද සන්නද්ධ ව්‍යාපාරයකට කැලෑවදින කුමාර්ලාට මේ කිසිවක් නැති බව කිවයුතුය. මොනතරම් දේශපාලන වශයෙන් අසරණ වුවත් සන්නද්ධ ජවිපයට (හෝ කුමාර්ලාගේ සන්නද්ධ අණ්ඩට) එදා දේශපාලනිකව නන්නත්තර වී සිටි ශ්‍රිලනිපයෙන් ලැබුනු මතවාදී සහය එජාපයෙන් කිසිදා ලැබෙන්නේ නැත. එජාපය තරම් ජවිපෙ සන්නද්ධ මිනීමරු කල්ලි නිසා නායකයින් ක්‍රියාකාරීන් අහිමි කරගත් දේශපාලන පක්ශයක් නැත. එවැනි පක්ශයක් විහිලුවකට හෝ සන්නද්ධ කුමාර්ලාට සහයට වචනයක් හෝ නොකියන බව මට ඉතා විශ්වාසය.
උතුරේ බෙදුම්වාදය හා සමපාතවීමේ උත්සහය
සන්නද්ධ වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා යන උපකළ්පණයේ පිහිටා බලන විට කුමාර්ලා උතුරේ ප්‍රශ්ණය පිලිබඳව ජවිපෙ ස්ථාවරය වෙනස් කරගත යුතුයයි කියන්නේද මේ අවාසි සහගත තත්වය ඔවුන්ද දන්නා බැවින් බව සිතිය හැකිය. සන්නධවීමේ අවශ්‍යතාවයක් කුමාර් පාර්ශවයට ඇත්නම්, ඔවුනගේ අරමුණ වනු ඇත්තේ ජවිපෙ මතය, උතුරේ සෙමින් සෙමින් යලිත් හිස ඔසවන්නට මාන බලන දෙමළ සන්නද්ධ ව්‍යාපාරවලට මතවාදීව සමපාත කොට පසුව ඒ ආධාරයෙන් සඟවා ඇති තුවක්කු දෙක තුනක් ඩයිනමයිට් කරලක් දෙකක් ඉල්ලා ගැනීමේ අදහසින් බව ලේඛකයා විශ්වාස කරයි.
ඉතා සරල හා ග්‍රාම්‍ය ලෙස දැක්වූවත් සන්නද්ධ ව්‍යාපාර දෙකක හවුලක අරමුණ හුදු මතවාදී හවුලක් නොව සෑමවිටම ඊට වඩා ප්‍රායෝගික යුධමය හවුල්කාරිත්වයකි. සැඟවී හෝ හමුදා ඔත්තුසේවාවලින් වහංවී සිටිනා එල්ටීටීඊ සටන්කාමීන්ගේ යුධමය ඥාණයෙන් අනාගත සන්නද්ධ ව්‍යාපාරයකට ඉමහත් ප්‍රයෝජන ලබාගත හැකි බව සන්නද්ධවීමට කල්බලන බවට චෝදනා ඇති කුමාර්ලාගේ කල්ලිය වටහාගෙන ඇතිබව ලේඛකයාගේ මතයයි. එහෙත් එල්ටීටීයේ විනාශයට ජවිපය දැක්වී ක්‍රියාශීලී දායකත්වය නිසා ඔවුන් සමග හවුලක් ගොඩ නගාගැනීමට දැන් සිටිනා ජවිපයේ නායකත්වයත් සමග නොහැකිය. මේ සඳහා නායකත්වයේ වෙනසක් සිදුවී පක්ශයේ මතවාදය බෙදුම්වාදයේ මතවාදයට අනුගාමීවිය යුතුය. මේ කරුණු සත්‍ය නම් මෙය හෙට අනිද්දා එලිදක්වන සැලැස්මක් නොව මධ්‍යකාලීන (වසර 3-5 අනාගතයට) සැලැස්මක් විය යුතුය.
කවුරු දිනුවත් අපට කමක් නැත
පක්ශයේ අයිතිය සටනින් කුමාර් අයියා දිනුවත් සෝමවංශ අංකල් දිනුවත් අපට කමක් නැත. අපට අවශ්‍යවන්නේ ශක්තිමත්, ජවසම්පන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව විශ්වාසය තබන ජවිපයකි. සන්නද්ධ ව්‍යාපාර පිලිබඳව සිහිනෙන් වත් නොසිතන ජවිපයකි.
කුමාර් අයියලාගේ සන්නද්ධ කතාව හුදෙක් විරුද්ධවාදීන් ගෙතූ මඩ කතාවක් මිස සත්‍යය නොවනු ඇති බව අපගේ ප්‍රාර්ථනයයි. මේ රටට තවත් මිනීමරු කල්ලියක් අනවශ්‍යය.