Sunday, May 29, 2011

රනිල්ට ආරාධනා කොට ජයලලිතා මහින්දට කල මදිපුංචිකම තවත් ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්ද?

ජාත්‍යන්තරයෙන් එතුමාට බොහෝ කෙනෙහිලිකම් සිදුවේ. වැඩිම කෙනෙහිලිකම් සිදුවුනේ ඉන්දියාවෙනි. මේ කෙනෙහිලිකම් ලැයිස්තුවට තවත් එක අයිතමයක් එකතුවී ඇත. ඒ සිය විජයග්‍රහණයෙන් පසු රනිල් යැවූ සුබපැතුමට ස්තූති කිරීමට ඔහු ඇමතූ ජයලලිතා රනිල්ට තමිල්නාඩුවේ සංචාරයක් සඳහා ආරාධනා කිරීමයි.

මෙය අලුතින් පත්වූ මහ ඇමතිනිය මහින්දට ගැසූ අතුල් පහරක් වැනිය. කරුණානිධිගේ පරාජයෙන්  වැඩියෙන්ම සතුටුවුනේ මහින්දගේ රජයයි. ඒ හේතු දෙකක් නිසාය. කරුණානිධි මහින්දගේ රජයට පසුගිය වකවානුව පුරාවට විවිධ බලපෑම් එල්ලකලේය. කොටි වනසන යුද්ධය නවත්වාගන්නට කරුණානිධි ඉන්දීය මධ්‍යම රජයට බලකලේ මන්මෝහන් සිං රජයේ පැවැත්ම සඳහා ලැබෙන සිය සහය ලීවරනය (leverage) කරමිනි. කරුණානිධිගේ ඩී.ඇම්.කේ පක්ශය තමිල්නාඩුව පුරා මහින්දගේ රජයට විරුද්ධව උද්ගෝශණ මෙහෙයවද්දී දැඩි කොටි විරෝධියෙකු වුනු ජයලලිතා, කරුණානිධි ලංකාවේ දෙමල ජනයාගේ ගැටලු මැතිවරණ වාසි සඳහා යොදාගන්නා බවට චෝදනා කලාය. මෙම චෝදනා වක්‍රාකාරවෙන් මහින්දට ලැබුණු සහයක් මෙන් මහින්ද රජයේ ප්‍රචාරක යන්ත්‍රය විසින් යොදා ගැනුනි.

අනෙක් කරුණ නම් මන්මෙඔහන් සිං ගේ රජයේ පැවැත්මට කරුණානිධිගේ පක්ශයේ සහය අත්‍යාවශ්‍ය වීමයි. කරුණානිධි දුර්වලවීම මන්මෝහන් සිං/සෝනියා රජය දුර්වලවීමක් ලෙස මහින්ද සැලකුවේය. මහින්දගේ මේ ගණන් බැලීම අනුව කරුණානිධිගේ පරාජය තමිල්නාඩුව තුල ඉන්දීය මධ්‍යම රජයේ බලය අවමවී දෙමල ජනයාගේ ප්‍රශ්ණ පෙන්වමින් ඉන්දීය මධ්‍යම රජය මහින්ද රජයට කරන බලපෑම් යම් දුරකින් හෝ   අඩුවිය යුතුය. එහෙත් ජයලලිතාගේ ජයග්‍රහණයත් සමගම සෝනියා ගාන්ධි ඇය හමුවීමට ගොස් සුබපතමින් තමිල්නාඩු නව රජයට ඉන්දීය මධ්‍යම රජයේ සහය ලැබෙන බව ඇඟෙව්වාය. සෝනියා ජයලලිතා හමුව කරුණානිධිගේ සිත බලවත්සේ කම්පාකරවන ලද්දක්වූ අතර ඔහු දැන් සෝනියා හා මන්මෝහන් සිං හමුවීම පවා ප්‍රතිකශේප කරමින් සිටී.

මේ අනුව තමිල්නාඩුව තුල ඉන්දීය මධ්‍යම රජයේ බලපෑම මහින්ද ගණන් බැලූ ආකාරයට හීනවූයේ නැත. අනාගත මහ මැතිවරණයකදී ජයලලිතා ඉන්දීය කොන්ග්‍රසය සමග එක්ව තරඟ කිරීමේ පසුබිමක් දැන් සැකසී ඇති අතර ඒ අනුව තමිල්නාඩුවෙන් හා ඉන්දීය මධ්‍යම රජයෙන් මහින්ද රජයට එල්ලවෙන බලපෑම් කිසි ලෙසකින්වත් අඩු නොවෙනු ඇත. මේ අනුව තමිල්නාඩු දේශපාලනය සම්බන්ධයෙන් මහින්ද රජය කල සියලු ගණන් බැලීම් අවුල්වී ඇත අතර ජයලලිතාගේ රනිල් ආරාධනයත් සමග මහින්ද තමිල්නාඩුව තුල යලිත් ප්‍රතික්ශේපවී සිටී.

විදේශ රටකදී, විශේෂයෙන්ම ඉන්දියාවේදී සිදුවෙන සුලු අතපසු වීමකින් පවා මහත්සේ කෝපවන මහින්ද ජයලලිතා රනිල් වෙත සිදුකල ආරාධනය මහත් මදිපුංචිකමක් ලෙස සලකනු නොඅනුමානය. මේ අනුව ජයලලිතා රනිල්ගේ රාජ්‍යතාන්ත්‍රික පරිනතභාවය හා සටන්විරාමය හරහා දෙමල ජනතාවට ලබාදෙන්නට ගිය සහනය අගයකර ඇති අතර රාජ්‍යනායකයා වූ මහින්දට ලබාදී ඇත්තේ බලයෙන් මිනිසුන් පෙලාගෙන සිටිනා නගරබද චන්ඩියෙකුට දී ඇති සැලකුමයි. සෝනියා ගාන්ධී සමග විශේෂ හිතවත්කමක් මෙන්ම ඉන්දීය   මධ්‍යම රජයතුලද විශේෂ පිලිගැනීමක් ඇති රනිල් හට දැන් ඉන්දියාවේ සිය හිතවතුන් ගොන්නට තමිල්නාඩුවේ මහ ඇමතිනියද එක්කර ගත හැකිය. මේ අනුව ඉන්දියාව තුල රනිල්ට සුවිශේෂ රාජ්‍යතාන්ත්‍රික පිලිගැනීමක් ලැබී ඇති අතර මේ පිලිගැනීම මහින්ද කෙසේ දිරවා ගනීදැයි පැවසීමට තවම කල් වැඩිය.

මහින්ද ලෝක කුසලාන අවසන් තරඟයේදී ඉන්දියාව තමන්හට අවමන් කලායයි සිය ක්‍රීඩා ඇමතිවරයා හරහා කල ප්‍රකාශයත් ඊට සමගාමීව අයි.පී.එල් තරඟාවලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ක්‍රීඩකයින් කලින් ගිවිසගත් දිනවලට කලින් ලංකාවට පැමිණිය යුතු බවට කල දැනුම්දීම ඉන්දීය ජනතාව අවඥා සහගතව බැහැර කලේය. සංගක්කාර, මහේල, මුරලි වැනි ක්‍රීඩකයින් දැඩි විනයකින් මෙන්න සුහදත්වයකින් ක්‍රීඩාකිරීම නිසා ඉන්දියාව පුරා ශ්‍රී ලාංකියයින් හට ඇති ගෞරවය වැඩිවී ඇතත් මහින්ද ගැන ඉන්දියාව තුල ඇති ගෞරවය ඉතා විශාල ලෙස අඩුවී ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ශ ඉතා පටු මාසිකත්වයක් ඇති, ලෙහෙසියෙන් කිපෙන, දිරදිග නොබලා තීන්දු තීරණ ගන්නා, විශ්වාස කල නොහැකි නායකයෙකු ලෙස වර්ගකොට ඇති අතර අනාගතයේදී ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ ප්‍රතිපත්ති සැකසෙනු ඇත්තේ මේ වර්ග කිරීමට අනුවය.

වාසනාවකට මහින්දට ලැබී ඇති මේ වර්ගීකරණයට පොදු මහත් ශ්‍රී ලාංකිකයින් හසුවී නැති අතර මේ සඳහා සංගක්කාර ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින්හට ප්‍රණාමය පුදකල යුතුය. ඉන්දියාව තුල සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයින් ලෙස පිලිගැනීමක් ඇත්තේ ජනපති මහින්ද හා ඔහුගේ විසිලු නඩයට නොව රනිල්ට හා ක්‍රිකට් ක්‍රීඩකයින්හටයි.


Wednesday, May 25, 2011

නායකත්ව පුහුණුව.............

විරෝධයට හේතුසාධක

විශ්ව විද්‍යාල නවක සිසුන්හට ඇස්.බී තුමාගේ "සංකල්පණාවක්" අනුව ලබාදෙන නායකත්ව පුහුණුව ගැන සමාජයේ දැඩි විවාදයක් පවතී. විවාදය බැලූබැල්මට ආන්තිකය. කට්ටියක් දැඩිලෙස විරුද්ධය. විරුද්ධවීමට හේතු ගොඩකි. රාජපක්ශලාගේ වැඩගැන ජනතාවට ඇති  අවිශ්වාසය, එස්.බී ගැන ඇති අපුල විරෝධතාවලට ප්‍රධාන නිමිතිවේ. මීට අමතරව ජවිපෙ, සිය සාම්ප්‍රදායික බලකොටු හා මිනිස් සම්පත් සංචිතය වන සරසවි සිසුන් හමුදා පුහුණුව ලැබූ, නවක වධයට, සීනියර් අයියලාගේ අක්කලාගේ සත්තම් වලට නොබිය කශේරුකා සහිත මිනිසුන් වීම ජවිපෙට මහත් විපතකි.ඒ නිසා ජවිපය විරෝධතාවය දක්වයි. ජවිපෙ පැත්තෙන් එය සාධාරණය තම බලකොටු කඩාවැටෙනවා බලාගෙන නිකම් සිටිය හැක්කේ රනිල් වැනි නායකයින්ට පමණි.

මීට අමතරව සරසවි සිසුන් ජාතියේ දක්ශම දරුවන් බවත්, වතුර බේසම්වල කකුල් දමාගෙන පාඩම් කලේ කූඩාරමක අටපාස් නිළධාරීන් අතින් විනය හා නායකත්වය ගැන දේසනා අසාගැනීමට නොවන බවටත් තර්කයක් මතුවේ.

මේ සියල්ල සත්‍යලෙස ගත හැකි, විවිධ කෝණවලින් බැලූවිට සාධාරණ තරකවේ.

නායක්ත්ව පුහුණුව යනු මුසාවාදයකි

දැන් අපි මේ පුහුණුවේ සවභාවය ගනිමු.මෙයට නායකත්ව පුහුණුවක් යයි සඳහන් කරයි. මෙය මුසාවදයකි. නායකයින් පුහුණු කරන්නට පුලුවන් නම් රටකට නියම නායකයින්ගේ හිඟයක් ඇතිවෙන්නේ නැත. නායකයන් බිහිවන්නේ උපතින් බවත්, පුහුණුකල නොහැකි බවත් මානවසම්පත් කලමනාකරණයේදී උගන්වයි. කල හැක්කේ නායකත්වය සඳහා සහජ කුසලතාවක් දක්වන්නන් හඳුනාගෙන ඔවුන්හට එම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම හා උපදේශන (mentoring) ලබාදීමයි. මෙය වසර ගණනාවක් යන ක්‍රියාදාමයකි. ඒනිසා මේ පුහුණුව "නායකත්ව පුහුණුවක්" යයි හැඳින්වීම එස්.බී හත්පොලේ ගා ගැනීමකි.

එසේනම් මේ පුහුණව කුමක්ද?

පෙනෙන ආකාරයට මෙය පෞරුශත්වය හා ආත්මවිශ්වාසය වර්ධනය කිරීමේ පුහුණුවකි. පුහුණුව භාරදුන් හමුදාකඳවුරුවල අණදෙන නිළධාරීන් හට පවා මේ ගැන දැනුමක් ඇත්දැයි සැක සහිතය. එහෙත් මෙවැනි පුහුණුවක් ඉතා සාර්ථකව හමුදා පුහුණුවක් මගින් ලබාදිය හැකිය. හමුදා පුහුණුවක් යයි කියූ පමණින් වරදවා තේරුම් ගතයුතු නැත. හමුදා පුහුණුව යනු වෙඩි තබන්නට, මරන්නට , මැරෙන්නට, අණපිලිපදින්නට පමණක් පුහුණු කිරීමක් නොවේ.

ඊට අමතරව හමුදා පුහුණුවකදී වෙලාවට වැඩ කිරීම, ලැබෙන උපදෙස් නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට උගෙනීම, පෞද්ගලික ජීවිතය අන් අයට කරදරක් නොවෙන ලෙස, අනුන් මත නොයැපී තමුන්ගේ වැඩ තමුන්ම කරගන්නා ආකාරය උගෙනීම, තමා පිලිබඳව ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීම, තමන්ටත් යමක් කල හැකියයි ආත්ම විශ්වාසය ගොඩ නැගීම වැනි ඉතා වැදගත් ජීවන කුසලතාද ඉගැන්වේ. හරියට වැඩක් කරන්නට බැරි, තමන්ට තමන් ගැනම විශ්වාසයක් නැති මිනිසුන්හට යුද්ධවලට මුහුණදිය හැකිද?

මා මෙතන සඳහන් කරන්නේ එස්.බී ගේ පුහුණුව හෝ එහි ප්‍රතිලාභ නොව නිවැරදි හමුදාපුහුණුවකදී පුහුනුවන්නෙකුට ලැබෙන ප්‍රතිලාභයි.  එස්.බී ගේ පුහුණුව ගැන එස්.බීට හෝ ඔහුගේ ගෝලයයින් හට හෝ හරිහමන් අවබෝධයක් ඇත්දැයි නොදනිමි.

හමුදාවිනය පාදක කොටගත් පෞරුශත්වය හා ආත්මවිශ්වාස වර්ධන පුහුණුවක් සරසවි සිසුනට වැදගත් ඇයි?

මෙය එස්.බී ගේ පුහුණුවට කඩේ යාමක් නොවන බව මම නැවතත් කියමි. එහෙත් උසස් අධ්‍යාපන ආයතනයක උගන්වන මට සරසවි පිවිසුම් වයසේ සිටින සිසු සිසුවියන් හට මෙවැනි පුහුණුවක් වැදගත් යයි සිතෙන්නේ මාගේ අත්දැකීම්ද අනුවය.

1] කායික සුවතාවය

උසස්පෙල නිමකරන සිසුන් වැඩි ප්‍රතිශතයක් කිසිදු කායික ව්‍යායාමයකින් තොරව වසර දෙකක් නැතහොත් තුනක් තනිකරම පොතපතේම ගැලුණු අයවලුන්වේ. මොවුන් නැවතත් සිරුර ක්‍රියාත්මකවන, මේධ දිය කරණ ව්‍යායාම පද්ධතියක නියැලවීම ඔවුන්ගේ අනාගත නිරෝගිභාවට පිටිවහලකි.

2] ආත්ම විශ්වාසය හා පෞරුශත්වය

විශ්වවිද්‍යාලතුලදී ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති කෙනෙකුට පෙම්වතියක් හෝ සොයාගැනීම අපහසුය. නවකවධය වැනි පරපීඩක උපක්‍රම මගින් කෙල්ලෙකු සොයාගැනීමට සමහර සිසුන් පෙළබෙන්නේ එබැවිනි. කෙල්ලෙක් සොයා ගැනීම මහාදෙයක් නොවන බව ඔබ දැන් සිතුවත්, ඒ වසයේදී එය ඉමහත් පීඩාකාරී පෙලැඹවීමකි. පෞද්ගලික අංශයේ රැකියාවලට යන්නට උපාධිධාරීන් අකමැති වීමට එක් හේතුවක්ද ආත්මවිශ්වාසයක් නොමැතිවීමයි. බොහෝ උපාධිධාරීන් පෞද්ගලික අංශ සේවයට බියක් දක්වන්නේ තමන්ට එවැනි සමාජයකට/සංස්කෘතියකට හැඩගැසීමට නොහැකිවේය යන බිය/කුලෑටිබව නිසායි.

3] වෙලාවට වැඩකිරීම

මෙය අපේ ජාතියටම ලබාදිය යුතු පුහුණුවකි. උදේ අටට එනවා කියන එකා අටහමාරට දකින්නට ලැබෙන්නේනම් පුදුමයකි. අටයි කිව්වවිට සිංහල වෙලාවෙන් නමයට කාලකි. දියුණු වන්නටනම් අඩුම ගණනේ කලට වෙලාවට දේශණ වලට සහභාගිවී උපාධිය ගෙන, රැකියාවක් ලැබුණු පසු කළට වෙලාවට වැඩට යායුතුය. ආණ්ඩුවෙන් රැකියා ඉල්ලමින් මැරෙන්නේ එහෙම බැරි උපාධිධාරීන්ය.

4] උපදෙස් පිලිපැදීම හා දෙන වැඩය හරියට නිවැරදිව කිරීම : 

හමුදාපුහුණුවේ ඉතා වැදගත් අංගයකි. නායකයෙක් වන්නට පෙර හොඳ අනුගාමිකයෙකු වියයුතු බව පැවසේ. හොඳ අනුගාමිකයෙක් නම් දෙන වැඩය නිවැරදිව අවබෝධකරගෙන, උපදෙස් නිවැරදිව පිලිපදිමින්,  කලටවෙලාවට නිමවා අවසන් කල යුතුය. 

අණ පිලිපැදීම යනු උඩ පැන ලොක්කෙකුට සැලූට් ගැසීම නොවේ. අණ පිලිපැදීම යනු වැඩක් හරියට කිරීමට ඉගෙන ගැනීමයි. වැඩක් හරියට කරන්නට බැරි එවුන් කෙසේ නායකයන් ලෙස අනුන්ගෙන වැඩ ගන්නද? මේ කුසලතාවය සරසවි සිසුනට උසස්පෙලින් ලැබෙන්නේ නැත, බෝහෝ පාසැල් වලින් ලැබෙන්නේද නැත. උසස්පෙල සිසුන් අතරින් අඩුම ගණනේ කණ්ඩායම් ක්‍රීඩාවක් හෝ කරන්නේ තරුණ තරුණියන් කීයෙන් කීදෙනාද? කණ්ඩායම් ක්‍රීඩාවක් කරන්නේනම් උපදෙස් පිලිපැදීම, කණ්ඩායමේ ජය වෙනුවෙන් තම වැඩය හරියට කිරීමට උගනී. එවැනි සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ කළාතුරකිනි.

5] කණ්ඩායම් හැඟීම හා සමූහයක් ලෙස වැඩකිරිමේ හැකියාව: 

උසස්පෙල යනු ඉතා ආත්මාර්ථකාමී, ආත්මාර්ථය මෙන්ම අනුන් කෙරෙහි බිය, ඊර්ශ්‍යයාව වර්ධනය කරන මහත් ව්‍යසනකාරී විභාගයකි. අප සමාජයමෙතරම් ආත්මාර්ථකාමී වී ඇත්තේ ඇයිදැයි සිතා බලන්න. බෝහෝදෙනෙක් මේ ආත්මාර්ථය විවෘත ආර්ථිකයත් සමග බල්ලන් මරාහෝ සල්ලි හම්බු කල යුතුය යන මානසිකත්ව ලැබීමෙන් ඇතිවූවා යයි සිතයි. එහෙත් මට සිතෙන ආකාරයට මේ ආත්මාර්ථය එන්නේ ව්වෘත ආර්ථිකය නිසා නොවේ. විවෘත ආර්ථිකය ඇති ලෝකයේ එකම රට මෙය නොවේ. වෙනත් රටවල මිනිසුන් මෙතරම්ම ආත්මාර්ථකාමී නැත.

මට සිතෙන ආකාරය මේ ආත්මාර්ථකාමිත්වය ලැබී ඇත්තේ උස්ස් පෙල තරඟය නිසාය. කෙසේහෝ අනෙකාට වඩා ලකුණක් හෝ උඩින් සිටීම එකම අරමුණ ඒ. සිසුවාගේ අරමුණ මෙන්ම දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන්ගේද අරමුණ එයම වේ. මේ නිසා වැඩිවියට පැමිණෙන විට පොදු අරමුණු යන සංකල්පය තරුණපරපුරෙන් බැහැරව ගොස් ඇත. "මගේ වැඩේ කෙරුණොත් ඇති, එනිත් එකාට මොනවා වුනත් මට මොකෝ" යන්න ජීවිතයේ තේමාව වේ.

එහෙත් නූතන ලෝකයේ, විශේශයෙන්ම පෞද්ගලික අංශයේදී කණ්ඩායක් කුසලතාවයට ඉතා වැදගත් තැනක් හිමිවේ. තනියෙන් දිනන සුපිරි අශ්වයින්ට වඩා කණ්ඩායමක් ලෙස වැඩ කලහැකි මිනිසුන් පෞද්ගලික අංශයට වැදගත්ය. මෙවැනි පුහුණුවලින් සමූහයක් ලෙස පොදු ඉලක්කයක් කරා යන හැටිත්, තම පෞද්ගලික අරමුණු, ආශාවන් පොදු ඉලක්කය වෙනුවෙන් යටපත් කරගැනීමටත් පුහුණුවක් ලබයි.

එස්.බී ගේ ඉලක්කය හා ජවිපේ බිය

එස්.බීගේ සැබෑ ඉලක්කය නම් මෙවැනි පුහුණුවක් තුලින් ජෙවිපෙට බිලිනොවන සරසවි සිසුන් පරම්පරාවක් තනාගැනීමය. ජවිපෙට ඇති බියත් එයමය. තම අනාගත කාඩර් සංචිතය මිලිටරි සංචිතයක් වනවා දැකීම ඔවුනට ඉතා බියජනක කාරණයකි.

එහෙත් ජවිපෙ බිය යුතු නැත. කෙල්ලෙක් හොයාගන්නට රැග් කරලා ඒ අස්සේ අන්තරේ කොන්තරාත්තුවලට සෙට්වෙලා ජවිපේ පූර්ණකාලීනයන් වී ඇති මිනිසුන් අද ජවිපෙ නායකයන් වී ඇත.

ටිල්වින්? බිමල්? අනුර? ලාල්කාන්ත? මුන් එකෙකුටවත් නියම පෞරුශයක් තිබේද, නායකත්ව ගතිගුණ තිබේද? ඉස්ටේජ් ගැසීම හා පෝස්ටර් ඇඳීමට අමතරව වෙන ජීවන කුසලතා කිසිවක් තිබේද? නිවැරදි වැඩපිලිවක් සකසා ගැනීමට දර්ශණයක් තිබේද?

නැත?

අද ජවිපෙට කෙලවී ඇත්තේ විශ්වවිද්‍යාල දේශපාලනය තුලින් නායකයින් බිහිකරගන්නට යාම නිසාය. ජවිපෙ හැර පැනගිය, එවක ජවිපෙ පතාක යෝධයෙකු වුනු වීර්වංශ හොට්ටාගේ තුප්පහි වැඩපිලිවෙලින්ම ජවිපෙ නායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියේ ආසාර්ථක භාවය පෙනෙයි. විමල් වැනි නිවටයෙකු මහා බලසම්පන්න නායකයෙකු බවට පත්වූයේ රොඩ්ඩන් ගොඩේ සිටි හොඳම වාචාලයා ඔහු වුනු නිසාය.

උද්ගෝසනයක් සංවිධානය කරගැනීමට, උගුර ලේ රහවෙනතෙක් කෑගැසීමට හෝ පොලීසිට ගල් ගසා ප්‍රකෝප කොට වෙඩිතබ්බවාගෙන වෙඩි තියෙනො කියා කෑගැසීමට හැර වෙන කිසිවක් කරන්නට මේ නායකයින් හට නොහැකිය.

ජවිපෙ ඉදිරියට එන්නට නම්, චන්ද දිනන්නට නම් හොඳ පෞරුශත්වයකින් හෙබි, මිනිසුන්ගේ විශ්වාසය දිනාගත හැකි, පිලිවෙලකට වැඩකරන නායකයින් බිහිකල යුතුය. එවැන්නවුන් හඳුනා ගැනීමට විශේෂ බඳවාගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතුය. දක්ශයන් සොයාගෙන, ඔවුන් පක්ශයේ ප්‍රතිපත්ති හා දර්ශණයට නම්මවාගෙන ඔවුන් නායකත්වයට ගෙන ඒමට දීර්ඝකාලීන වැඩ පිලිවලක් තිබිය යුතුය. කෙල්ලෙක් හොයාගන්නට බැරි හොට්ටන්ට පක්ශයෙන්ම ගෑනියෙකුත් හොයාදී, කසාදත් බන්දවා, ස්ටේජ් ගස්සවන්නට, පත්‍රිකා බෙදන්නට, උද්ගෝසන කරන්නට යැවීම පක්ශය නෝන්ජල් වෘශභයින්ගෙන් පුරවාගැනීමකි.

අවසාන නිර්ණයනය

මේ පුහුණු වැඩපිලිවෙල, හොඳින් සැලසුම් කොට, පසහුකම් සපයාගෙන, නිවැරදි සැලස්මකට කරන්නේනම් මුලුමහත් සරසවි ප්‍රජාවට මෙන්ම රටේ අනාගතයටද යහපත්ය. අනාගත උපාධිධාරීන් දේශපාකලයින්ට දෙතුන්වතාව රැවටී පාරවල්ගානේ රස්තියාදු නොවට පිරිසක් කිරීමේ අඩිතාලම මෙයින් දැමිය හැකිය.

මේනිසා උපාධි අපේක්ශක නවකයින් බිය නොවිය යුතුය. පහසුකම් නැතත් ගත හැකි යමක් ගෙන කශේරුකාවක් ඇති මිනිසුන් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුලුවෙන්න.

ජවිපෙද  බිය නොවිය යුතුය. මේ පුහුණුවෙන් පසු දක්ශයන් එලියට එනු ඇත. උන් හොඳින් හඳුනාගෙන පක්ශයට ගෙන අනාගත නායකත්වය සඳහා පුහුණුකල යුතුය. එවිට එස්.බීගේ මාළු එස්.බී මතම තියා කැපිය හැකිය. 

රාජපක්ශ රාජ්‍ය වංශය අවසන්කල හැකි දක්ශ නායකයින් රාජපක්ශලාගේ මේ පුහුණුව තුලින්ම බිහිකරගත යුතුය.

Sunday, May 22, 2011

කනිමෝසී හිරේ ගියාට අපේ බබීලා බය වෙන්න එපා.......අප්පුච්චා ඒවා බලාගනී

ඉන්දියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් මෙන්ම මන්මෝහන් සිංගේ හවුල් රජයේ බලසම්පන්න පංගුකරුවෙකු වන තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධිගේ දියණියද වන කනිමෝසී ඊයේ නව දිල්ලියේදී පැවැත්වුනු විශේෂ නඩු විභාගයකදී ඇප ප්‍රතික්ශේප වී සිරගත කෙරුනාය. මවක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බැවින් ඇයට ඇප ලබාදෙන ලෙස ඇයගේ නීතිඥවරයා කරතිබුණු ඉල්ලීම අධිකරණය ප්‍රතික්ශේප කලේය. ඇයගේ නීතිඥයින් ඇප අයදුම්පත සමග ඉදිරිපත්කොට තිබුණු කරුණු පිලිබඳව දීර්ඝව කරුණු දැක්වූ විනිසුරුවරයාගේ ප්‍රකාශය ඉතා වැදගත්ය.

මේ තීන්දු ප්‍රකාශය ඉන්දියාවේ අධිකරනයට ඇති ස්වාධීනව තීන්දුගැනීමේ හැකියාව ඉතා හොඳින් පෙන්නුම් කරයි. අධිකරණ විනිසුරු ඕ.පී සායිනී මහතා කනිමෝසිගේ ඇප අයදුම් පත ප්‍රතික්ශේප කිරීමට හේතු ඉතා සවිස්තරව දක්වා සිටියේය.

"සැක කාරියට එල්ලවී ඇති චෝදනාවල බරපතල භාවය හා එයින් රටේ භාන්ඩාගාරයට සිදුවී ඇති දැවැන්ත පාඩුව දෙසත්, සැකකාරියගේ දේශපාලන හා ව්‍යාපාරික බලපුලුවන්කාරකම් සලකන විටත්, දැනටම ඉදිරිපත් වී ඇති සාක්ශි සලකාබලන විටත්, සැකකාරියට මේ නඩුවේ සාක්ශිකරුවන් හට බරපතල බලපෑම් එල්ල කල හැකි බව අධිකරණයේ මතයයි.

සැකකාරිය මවක්, කාන්තාවක් හා උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් යන කරුණු සලකා වුවද ඇයට සහනයක් දීමට අධිකරණයට නොහැකි වන්නේ මේ චෝදනාවල ඇති බරපතල ස්වභාවය නිසාමය. ඇයට යම් සහනයක් දීමට පෞද්ගලිකව මට කැමැත්තක් තිබුණත් නීතිමය රාමුව තුල එවැනි සහනයකට ඉඩක් නැත. මේ නිසා ඇය කිසිදු විශේෂ සැලකිල්ලක් නොමැතිව සාමාන්‍ය රිමාන් සිරකරුවෙකු ලෙස සැලකිය යුතුය...."

කනිමෝසී සිරගත කිරීමත් සමගම කුප්‍රකට "2G Scam" ලෙස හැඳින්වෙන සෙලියුලර් තරංග වෙන්දේසියේදී සිදුවී ඇතැයි පැවසෙන අති දැවැන්ත වංචාවේ පලමුවටයේ චූදිතයන් 12දෙනාගෙන් 11කුම දැන් සිරගත කොට ඇත. මොවුන්ගෙන් පලමුවෙන්ම සිරගත කෙරුණේ මන්මෝහන් සිං අගමැතිවරයාගේ කැබිනෙට්ටුවේ සංනිවේදනය පිලිබඳව කැබිනට් අමාත්‍යධූරය දැරූ කරුණානිධිගේ ඩී.ඇම්.කේ පක්ශයේ ඒ.රාජා කැබිනට් ඇමතිවරයාය.

බලයේ සිටින රජයක කැබිනට් ඇමතිවරයෙක් දේශපාලන නොවන හේතුවක් මත එම රජයේම වංචා දුශණ විමර්ශණ කොමිසම මගින් අත් අඩංගුවට ගෙන කිසිදු අනවශ්‍ය බලපෑමකින් තොඅරව අධිකරණ ක්‍රියාවලියට ඉඩදී අවශ්‍යනම් සිරගත කිරීමේ හැකියාව ඉන්දියාවේ ඇත. A.රාජා/කනිමෝසි ගේ සොරකම් පිලිබඳව සොයාබලන ඉන්දියානු මධ්‍යම විමර්ශණ කොමිසමේ (CBI) නිළධාරීන්හට  මන්මෝහන් සිංගේ හෝ කරුනානිධිලාගේ කිසිදු බලපෑමක් නැත. එසේ බලපෑමක් නැත්තේ මන්මෝහන් සිං කෙසේ වෙතත් කරුණානිධි අවංක, නීතිය අකුරට පිලිපදින, තමන්ගේ දුව වුනත් හොරකම් කරානම් හිරේ ගියාදෙන් යයි සිතාගෙන ඉන්නා මහත්මයෙකු නිසා නොව ඉන්ධියාවේ අධිකරණ පද්ධතියයටත්, රජයේ නිළධාරීන්ට හා ජනමාධ්‍යවලටත් ඇති බලපෑම්වලට යටත් නොවී නිදහසේ නීතිය ක්‍රියාත්මක කිරීමට, දූශණයට එරෙහිව කථාකිරීමටත්, ක්‍රියාකිරීමටත් ඇති හැකියාවයි. මේ හැකියාව නිසා කරුනානිධිලාට කට පුක පියාගෙන  හොඳ ලෝයර්ලා අල්ලනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත.

මේ අතඩංගුවට ගැනීම් දේශපාලක සොරුන්ගෙන් නතරවන්නේ නැත. පලමුවන වටයේ දේශපාලන සොරුන් හා ඔවුනේ අතවැසියන් සිරගත කෙරුණු අතර හෙට අනිද්දා මේ 2G සොරකමේ ව්‍යාපාරික මොලකාරයින්ද අත් අඩංගුවට ගැනෙනු ඇත. 

ඒ රාජා ඇමතිවරයා හට අල්ලස් පිදේනි ලබාදී කුණුකොල්ලයට සෙලියුලර් තරංග අයිතිය ලබාගත් සමාගම් අතර රිලයන්ස් කොමියුණිකේශන් ආයතනය හා එයට අනුබද්ධ ස්වෝන් ටෙලිකොම්  නම් ආයතනයක් ද වෙයි. මේ අනුව සමාගම් දෙකේම සභාපතිවන ප්‍රකෝටිපති අනිල් අම්බානිවද ප්‍රශ්නකිරීම සඳහා අත්ඩංගුවට ගැනීමට ඉන්දියානු CBI ආයතනය බලාපොරොත්තු වන බව නිළනොවන ආරංචිමාර්ග පවසයි. 

අනිල් අම්බානි සතු ධනස්කන්ධය හා ව්‍යාපාරික බලය දෙස බලන විට ලංකාවේ මහා සල්ලිකාරයින් ලෙස පිම්බී සිටින, රටේ නීතිය තමන්ට අදාල නැතුවාමෙන් සල්ලි විසිකරමින් ඕනෑම දෙයකින් ගැලවෙන, ආණ්ඩු වෙනස්කරන්නට වුවද තමන්ට හැකියාවක් ඇතැයි සිතාගෙන සිටින සුමල් පෙරේරලා, හැරී ජයවර්ධනලා, සුමතිපාලලා, ඊ.ඒ.පී එදිරිසිංහ සමාගම් සමූහයේ සෝමා එදිරිසිංහලා අම්බානිගේ සපත්තු පිසදමන, තේ ගේන, අතුපතුගාන සුලුසේවකයින්ට සමානය. 

ඉහත නම් කියූ ශ්‍රී ලාංකික කෝටිපතියන් සියලුදෙනාගේම වාර්ශික ව්‍යාපාර ආදයාම් සියල්ල එකතුකර ගත්තත් ඒ මුදල රිලයන්ස් සමාගම් සමූහයේ එක එක් මාසයක ආදායමට වඩා අඩුබව සංඛ‍යාලේඛන නොමැතිවුවත් මට කිසිදු බියක් සැකක් නොමැතිව කිව හැක්කේ ලංකාවේ සිටින පාඨකයින් නොදන්නවා වුනාට රිලයන්ස් සමාගම් සමූහයේ විශාලත්වය හා ආදයම් තත්වය ව්‍යාපාර අධ්‍යයනය  හා කළමණාකරනය  උගන්වන මා හොඳින්ම දන්නා නිසාය.

ව්‍යාපාර ආදායම් පසෙක තැබුවත් අනිල් අම්බානිගේ පෞද්ගලික ධනස්කන්ධය (ව්‍යාපාරවල ආදායම නොව) පමණක් 2011වසරේ ආදයම් බදු වාර්තාවලට අනුව ඩොලර් බිලියන 8.8කි ඩොලර් බිලියනයක් යනු මිලියන 1000ක් නිසා ඩොලර් මිලියන වලින් නම් මිලියන 8800කි. ඔය ඉලක්කම ලංකා රුපියල්වලට හරවන්නට නම් තවත් රුපියල් 109කින් වැඩිකල යුතුය. එනම් රුපියල් මිලියන 959,200කි. මේ ඉලක්කම්, සල්ලි නිසා තමුන් මහා ලොක්කන් යයි සිතාගෙන ඉන්නා සුමල්ලාට, එදිරිසිංහලාට, සුමතිපාලලාට, හැරීලාට මුත්‍රා බර හැදෙන ඉලක්කම් බව නොඅනුමානය. 

එහෙත් හෙට අනිද්දාට ඉන්දියාවේ CBIඑක කට උත්තර ගැනීම සඳහා අනිල් අම්බානි අත් අඩංගුවට ගන්නට අවසර දෙන්න යයි උසාවියෙන් අවසර ඉල්ලා සිටියහොත් නඩුකාරයාට සිය අනුමැතිය සඳහා සලකා බලන්නට සිදුවෙන්නේ CBI ආයතනයේ ඉල්ලීම නීතිප්‍රකාරව සාධාරණද, යුක්තියුක්තද යන්න පමනකි. අනිල්ගේ ලාංකේය රුපියල් මිලියන නවලක්ශයේ සල්ලි මල්ල ගැන හෝ අනිල් අම්බානිගේ බලසම්පන්න නැදෑ හිතමිතුරන් ගැන, අනිල් මන්මෝහන් සිංගේ චන්ද වියාපාරෙට සල්ලි වීසිකරාද නැද්ද යන්න ගැන සිතන්නට අවශ්‍ය නැත.

CBIඑකේ නිළධාරින්හටද අනිල් අල්ලන්නට ගොස් ඇසිඩ් කන්නට වේදැයි, නැත්නම් ගෙදර සේවිකාව දූශණ කලායයි අනිල් අම්බානිගෙන් යැපෙන පොලිස් ලොක්කෙකු තමන්ම ගෙන්වාගත් පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට  ගැනෙන්නට පුලුවන් නේදැයි යනුවෙන් බියවන්නට උවමනා නැත. රාජ උදහසට ලක්වී අව්වේ කරවෙන රාජස්තාන් කාන්තාරයට හෝ සීතලේ වෙවුලන ලඩාක් ග්ලැසියරයට මාරුවක් ලැබේවීදෝ යයි ලතවෙන්නට උවමනාවන්නේද නැත. කොන්ද කෙලින් තබාගෙන රාජකාරිය කල හැක.

ඒ ඉන්දියාවේය. ලංකාවේ බේබීලාටනම් බයවෙන්නට දෙයක් නැත්තේ අප්පුචා/හිච්චි බාප්පී/මහප්පී ඉන්නා නිසාය. මල් බේබීට හරි ඒයාගේ ස්ත්‍රී දූශක මිතුරෙකුට හරි විරුද්දව වචනයක් කියවුනොත් ඇසිඩ් බෝම්ම ශුවර්ය. ඕනෑම කොන්තරත්තුවකට මල්බේබිගේ කෙනෙකු, බාප්පිගේ, මහප්පිගේ හෝ අප්පුච්චාගේ කෙනෙකු ඉල්ලුම් කරොත් අනික් අය කරබාගෙන සිටිය යුතුය නැහ්නම් බිස්නස් කරලා ඉවරය.

මොන හොරකම කෙරුවත් අප්පුච්චා, මල්බේබි, බාප්පී මහප්පී, සෙනරත් අංකල් ඉන්නවානම් අඩුම ගණනේ භාණ්ඩාගාරයේ පී.බී අංකල්වත් ශේප්නම් බයවෙන්නට දෙයක් නැත. හොරකම් නොකලත් අප්පුච්චාට එගේන්ස්ට් නම් ඉඳලා හමාරය. දරුමල්ලන්ට වුවද නිවනක් නැත. තාත්තා අප්පුච්චාට එගේන්ස්ට් නිසා දුවලාගේ කසාද කැඩී, සැමියන් අතුරුදහන්වී, එයාපෝර්ට් එකට එනවිට එලාම් වදින්නටද පටන්ගනී. මෙහෙ හැටි එහෙමය.

මල් බේබි විතරක් නෙමේය ඊටත් වඩා ගොඩක් "දුප්පත්" සල්ලිකාර බබාලාට බබීලාට වුනත් ලයිසන් නැතුව මහපාරේ කාර් රේස් තියලා අහිංසකයෙක් යටවුනාම ඩ්‍රයිවර් එලෙව්වේ කියලා ෆොලිස් බොස්ලාට ඩැඩී ලව්වා කියවලා ශේප්මන්ට් එකක් දාගන්නට පුලුවන. දවස් දෙකෙන් ඩැයිවර් උන්නැහේද ඇප ලැබී ගෙදර එන අතර ලයිසන් එකද ආපසු ලැබෙනු ඇත.

තමුන් ආසා කරන ලස්සන කෙල්ලෙකුගේ  පෙම්වතා අබ්බගාතයෙක් කරන්නට, උගේ රස්සාවට කෙලවන්නට වැනි අන්ත අසමජ්ජාති වැඩ වුවද කරගන්නට මේ new-age බබීලාට පුලුවන. මේ සමහර සල්ලිකාර ගඩ්ඩන්ගේ වයස 18ක් 20ක් වත් නැත. ඒත් මල් බේබී සහ සමාගම සමග උන් බිස්නස් කරයි, ඩීල් දායි, නැත්නම් දාන බව ප්‍රචාරය කරයි. පම්පෝරි ගසයි.

වල් වැදුනු නීතිය නිසා පස්ස කසා ගන්නට නියපොත්තවත් නොවැඩුනු, ඒත් මල් බේබිගේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ්ස් ලාවෙන, පාටිවලදී මල් බේබී එක්ක ඩාන්ස් කරන්න පින් ලැබී තිබෙන, මල් බේබිගේ ප්‍රයිවෙට් සෙල් නම්බර් ෆෝන් ඇඩ්රස් බුක් එකේ තියෙන හුජ්ජ කොල්ලන්ට ලැබී ඇති හයිය පුදුමාකාරය. ලපටි වයසේදීම   මුන් තමන්ට සල්ලි බලයෙන් ඕනෑම වලත්ත වැඩක්, අසමජ්ජාති වැඩක්, හොරකමක් වංචාවක් කොට  එය එක ටෙලිෆෝන් කෝල් එකකින්, විනාඩි පහක මීටින් එකකින් ශේප් කරන්නට හැකි බව අවබෝධකරගෙන ඇත. මේ නිසා මුන් කිසිදාක සාධාරණ ව්‍යාපාරිකයින් වෙන්නේ නැත, දේශපාලනයට ආවිට තත්වය වඩාත් දරුණුවේ.

ඉන්දියාවේද මෙවැනි සල්ලිකාර ඉහඳ පණුවන් ඕනෑ තරම් සිටී එහෙත් මෙහේ ඇති වෙනස නම් අහුවුනවිට ගැලවීමක් නොමැතිවීමයි. මාට්ටුවුන විට මන්මෝහන් සිං ලොකු සීයා වුනත්, සෝනියා ගාන්ධී නෑකමට නැන්දී වුනත් වැඩක් නැත. ටින්කිරි පෙම්වතෙක් ඉන්නා හිරකූඩුවකට ගාල්වීම අනිවාර්‍යයෙන්ම සිදුවේ.

ඉන්දියාවේ සිටින්නේ වඳුරන් හා බමුණන් යයි ඉන්දියාවට ගරහන රාජපාක්ශිකයෝ නිතරම කියති. කියමින් ඔච්චම් කරති, සිනාසෙති. මෙහි වඳුරන් මෙන්ම බමුණන්ද සිටින බව සැබෑවකි.  මෙහි බමුණන් මෙන්ම බමුණු කුළයේ ඇත්තන්ද අඩුකුලයේ උන් තම නිවසට පවා වද්දාගන්නේ නැත. උන් කන තැන්වල කන්නේ බොන්නේද නැත. උන් දිහා බලන්නේද නැත. බමුණන් තමන්ටම වෙන්වූ කොළණිවලට වී අඩුවයස් දැරියන් නාකින් හට විවාහකරදෙමින් බමුණු කුළ ආරක්ශාකර ගනිද්දී බමුණන් නොවන, බමුණුවත් පිලිකෙව් කරන කෝටි සංඛ්‍යාත ජනයා නිදහසේ ජීවත්වෙති,  මහන්සිවී වැඩකරමින්, ව්‍යාපර අරඹමින් ධනවත් වෙති.

බමුණන්ට තේ කඩයක්, ඉඩ්ලි වඩේ තට්ටුවක්වත් හරියට කල නොහැකිය. බමුණන්ට බිස්නස් කල නොහැක්කේ බිස්නස් කරනවිට අඩු කුලයේ එකාටද සමානව සැලකිය යුතු නිසාය. ඒ නිසා ඉන්දියාවේ බමුණන් කෙමෙන් කෙමෙන් වඳවෙමින් සිටී. බමුණු කුළය වඳවෙමින් කුළය කුමක්වුවත් මොළයට හා හැකියාවට තැනදෙන meritocratic සමාජයක් සෙමෙන් එහෙත් ස්ථිරසාරව බිහිවෙමින් පවතී.

ඉන්දියාවේ හින්දු දහම ආශ්‍රිතව බිහිවුනු බමුණුකුළය වඳවෙමින් යද්දී බමුණුවත් පිලිකෙව් කල ගෞතම බුදුන්ගේ අනුගාමිකයින් යයි කියාගන්නා ශ්‍රිලාංකේය භික්ශූන්ද උපත හා කුළය වෙනුවට ධනය මත පදනම් වූ බමුණු කුළයක් බිහිකරමින් පවතී. පැරණි ඉන්දියාවේ බමුණන් හට නීතිය අදාල නැත. ඒ උන් උසස්ම කුලයේ නිසාය. නීතිය අදාල වෙන්නේ අනෙක් උන්ට පමණකි.

ශ්‍රි ලංකාවේ භික්ශූන්ද ඔවුන් නිර්මාණය කරමින් සිටින නූතන බමුණු කුලයට ඇතුලත් කරගන්නා මුදල් තිබෙන නොමිනිසුන් නීතියට ඉහලින් සිටිනා බව විශ්වාස කරණු පෙනේ. අධ්‍යාපනය, සුදුසුකම්, හැකියාව යන මේ කිසිවකින් වැඩක් නැති සමාජයක් ශ්‍රී ලංකාව තුල බිහිවෙමින් පවතින බව කණගාටුවෙන් වුවද කිවයුතුය. සියල්ල ලැබෙන්නේ නූතන බමුණු කුළයටය. ඉන්දියාවේ බමුණන් මෙන්ම මුන්ද දවල්ට බණ දේශණාකරමින් සිට රෑට සොරකමේ යයි නැතිනම් වෙසඟනුන් සොයා යයි.

භික්ශූන්ට පහරදෙන, ප්‍රසිද්ධියේ අවලම් කතා කියන, මිනිසුන් ගස් බඳින, මත් ද්‍රව්‍ය විකුණන, කප්පම් ගන්න මහා වානරයා බමුණු කුළයට ඇතුලත් වන්නේ බෞද්ධයෙන්ගේ මුදුන් මල්කඩක් වන අනුරාධපුරයේ ආරාමාධිපති භික්ශුවකට කුඩු සල්ලි චෙක්පතක් දීමෙනි. දැන් මැරයා නිළවශයෙන් උපාසක බමුණෙකි. සෑසනයට මහත්සේ උපකාර කරන මේ මැර බමුණාට විරුද්ධව චෝදනාකරන්නේ ක්‍රිස්තියානි මිසනාරිකාරයින්ය.

නූතන බෞද්ධ භික්ශූන් තරම් මැරයන්හට මිනීමරුවන් කුඩුකාරයින් හට සෙවන දෙන, උන්ගේ පව් කඳු වසාගන්නට මල්වට්ටි දෙන, උන්ගේ ලේ තැවරුණු කළු සල්ලි සුදුකරගන්නට උපකාරීවෙන වෙනත් සමාජකුළකයක් නැති තරම්ය. මේ භික්ශු කුළකයද අද දිනයේදී සිය බලය ලබාගන්නේ මල් බේබීගේ අප්පුච්චාගෙනි. ඒ සඳහා ඔවුන් සිය භික්ශූත්වය රජ ඉදිරියේ පාවාදී ඇත. අතීතයේ සිටම රජුන්ට අවාදානුසාසනා කොළායයි වහසිබස් කියන මුන්නාන්සේලා අද රජ අණ පිලිපදින්නන්, පවුකාරයින්ගේ පව් වසන්නන් බවට පත්වී ඇත්තේ තමුන්ගේ නිවටකම, ජාතිවාදය, කුළවාදය මෙන්ම මුදලට හා බලයට ඇති ගිජුකම නිසාය.

බලයට හා කුමන ආකාරයක හෝ ප්‍රසිද්ධියට ඇති ගිජුකම නිසා කෝටි ගණන් පින් කැටවලට සල්ලිවැටෙන අනුරාධපුරයේ ආරාමාධිපතිලා කුඩු සල්ලි චෙක්පත් භාරගෙන රිසිට් පතක් වෙනුවට නම්බුනාමයක් දී පුවත්පත්වලට ප්‍රකාශද නිකුත් කරන්නේ සේල්ස් රෙප්ලාටත් අන්ත විධියටය. ටොපි විකුණමින් මුදලාලිලා ඉදිරියේ දෙකට නැමෙන සේල්ස් රෙප් මල්ලිලා වුනත් චෙක් පතකට සිය ආත්මය පාවාදෙන්නේ නැත. ආරාමාධිපතිලාට එවැනි ගැටලු නැත්තේ ආත්මයක් හෝ ආත්ම ගරුත්වයක් නැති නිසා වන්නට ඇත

මේ අනුව සමාජයේ ඉහල සිට පහලටම සියලු ස්ථරයන් පුරා වංචාව දූශණය අපරාධ සාමාණ්‍යකරනය වී ඇත. මුදල් ඇත්නම් ඕනෑම මිනිමරුවෙකු උපාසකයෙකු කරන්නට, නම්බුනාම දෙන්නට භික්ශුවක් ඉදිරිපත්වෙනු ඇති අතර මෙලෙස උපාසකයෙකු ලෙස වෙස් ගැන්වෙන අපරාධකාරයා කැබිනට් ඇමතියෙක්,  නියෝජ්‍ය ඇමතියෙක්, මහ ඇමතියෙක්, ආණ්ඩුකාරයෙක්, මංත්‍රීවරයෙක්, ජනාධිපති උපදේශකයෙක් වන්නට ගතවෙන කාලය ඉතාම කෙටිය. අප්පුච්චා, බාප්පී, මහප්පී , සෙනරත්, පී.බී, කබ්රාල් වැනි මෙකී නොකී කුළවන්තයන්ගේ අනුග්‍රයන් අපරාධකාරයා කෙටි පාරෙන් පාර්ලිමේන්තුවට, පලාත්  සභාවට, ආණ්ඩුකාර නිළනිවසට, වෙනයම් වැදගත් අමාත්‍යාංශයකට නැතිනම් රජ ගෙදරට හෝ එයි. ස්ත්‍රීදූශක සිල්වා, එවැනි පාහරයන් අහලකටවත් වැද්ද නොගතයුතු, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය පාලනය කරන  අමාත්‍යාංශයට සෙට් වෙන්නේද සල්ලිඅනුහසින් බමුණු කුළයට ඇතුලත්වීමෙනි.

බමුණන් සිටින ඉන්දියාවේ හොරකම් කල කැබිනට් ඇමතිලා, මංත්‍රී නෝනලා හිරේ ගියාට මේ පාපතර දේශප්‍රේමී රාජ්‍යයේ   හොරකම් මැරකම් අපරාධ කරමින් වැජඹෙන බබාලාට, බබීලාට මෙන්ම වයස්ගත හොරුන්ටද බියවෙන්නට දෙයක් නැත. සියල්ලන්ටම අප්පුච්චාගේ සරණ ඇත.




Saturday, May 21, 2011

මිලියන 1.4ක් පාසැල් දරුවන්ට නොමිලයේ ලැප්ටොප් පරිගණක!

කළබල වෙන්නට එපා, මේ අසිරිමත් ලැප්ටොප් දන්සැල පැවැත්වෙන්නේ බේරේ වැව අසබඩ චන්ද කාළයට දන්සැල්වලට ප්‍රසිද්ධ මන්දිරයේ නොවේ. 

මේ මහා ලැප්ටොප් දන්සැල පවත්වන්නට යන්නේ නොබෝදා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් AIADMK පක්ශයේ ජයලලිතා මැතිණියයි. 11වැනි හා 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සියලුම තමිල්නාඩු පාසැල් දරු දැරියනට නොමිලයේ ලැප්ටොප් පරිගණකයක් ලබාදෙන බවට ජයලලිතා මැතිනිය මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ අතර මහ ඇමතිණිය ලෙස දිවුරුම් දී පැවැත්වූ දේශණයේදී ඈ කියාසිටියේ තමන් චන්ද පොරොන්දු ලෙස පැවසූ සියල්ල ඉදිරි මාස 12-15 අතර කාළය තුලදී ඉටු කර සම්පූර්ණ කරන බවයි.

මේ අනුව නොබෝදිනකින්ම මේ ලැප්ටොප් බෙදාදීමේ සැලැස්ම ආරම්භ වනු ඇත. පාසැල් දරුවන අමතරව ඉන්දියාවේ පරිගණක වෙලෙන්දන්ද ජයලලිතා මැතිනියගේ චන්ද පොරොන්දුව ඉටුවන්නට යාම ගැන මහත් සන්තෝශයෙන් සිටිනවා. 11 හා 12 වසරවල ඉගෙනුම ලබන සිසුසිසුවියන් මිලියන 1.4ක් තමිල්නාඩුව තුල සිටින නිසා ඉන්දියානු රුපියල් කෝටි 200ක්-300ක් පමණ වටිනා මේ දැවැන්ත ලැප්ටොප් ඇණවුමේ කොටසක් හෝ කඩා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ පරිගණක වෙලඳ සමාගම් තමල්නාඩුව තුල දැවැන්ත සේවා සැපයුම් ජාල ඇතිකරමින් තම සුදුසුකම් තමිල්නාඩු රජයට ඉදිරිපත් කිරීමට සැලසුම් කරගෙන සිටිනවා.

Sunday, May 15, 2011

ඉන්ධන මිල වැඩිකරන්නට නොදන්නා ඉන්දියන් මධ්‍යම ආංඩුව

ඉන්දියානු රජය පැට්රෝල් මිල රුපියල් 5කින් වැඩි කරයි.....හෙට අනිද්දා ඩීසල්


ඉන්දියන් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි පැට්රෝල් වල මිල ඉන්දියන් රුපියල් 5කින් වැඩිකොට ඇත. ඒ අනුව මුම්බායි නගරයේ පැට්රෝල් ලීටරයක් ඉන්දියන් රුපියල් 58.71 (ලංකා රුපියල් 140.90) සිට 63.37 (රු.152.08) වන තෙක් වැඩිකොට ඇත.


මේ අතර ඉන්දීය රජයට අයත්  IOC, හින්දුස්තාන් පෙට්‍රෝලියම් හා භාරත් පෙට්‍රෝලියම් සමාගම් පවසන්නේ තමන් තවමත් පැට්රෝල් ලීටරයකින් ඉන්දියන් රුපියල් 5ක් පාඩු ලබන බවයි. ඒ ජනතා විරෝධය රජයට එල්ලවේයයි යන බියෙන් පාඩුව ශුන්‍ය වනතෙක් මිල වැඩිකිරීමට ඉන්දීය රජයේ ඇති අකමැත්තයි. මේ අනුව ඉන්දියානු රජයට අයත් ඉන්ධන සමාගම් තුන පැට්රෝල් අලවියෙන් පමණක් දිනකට ඉන්දියන් රුපියල් කෝටි 47ක් (ලංකා රුපියල් කෝටි 112ක්) පාඩුලබයි. 

ඉන්දියන් ආණ්ඩුවේ නොහැකියාවත් ශ්‍රී ලාංකේය දේශප්‍රේමි, අධිරාජ්‍ය විරෝධී, ජනතා හිතවාදී පොදු ජන රජයේ දක්ශ කමත් හෙලිවෙන්නේ මෙන්න මේ අවස්ථාවේදීයි.

ඉන්දියාව වර්ල්ඩ් කප් එක ඉස්සුවේ මේ ඊයේ පෙරේදාය. තවමත් ඒ උණුසුම මැකී නැත. මෝඩ ඉන්දියන් ආණ්ඩුවට තිබුණේ කප් එක උස්සපු දින රාත්‍රියේම පැට්රෝල් මිල වැඩිකරලා දාන්නටය. එහෙම කලානම් කාගෙන බීගෙන සරම් උස්සාගෙන ලංකාවෙන් වන්දනාවේ ගිය බබලත් ඇත්තීලාත් අපහසුතාවයට පත්කරමින් පාරවල් ගානේ නට නටා උන් ඉන්දියන් ජනතාවට ඔය වැඩි කිරීම ගැන වගේ වගක් නැතිවෙන්නේය. අද පත්තරවල හෙඩ්යිමේ යන මේ වැඩිකිරීමේ උණුසුම් පුවත අටවැනි, නව වැනි පිටුව දක්වා පසුබස්සවලා වගේ වගක් නැති ගාණට ගන්නට කප් එක උස්සපු වෙලාවේ පැට්රෝල් මිලත් උස්සලා තිබ්බානම් ඉන්දීය රජයට පුලුවන් කම තිබුණි. ඒත් ඉතින් මොලේ නැති කමට මොනවා කරන්නටද?.

කල දුටුකල වල ඉහගත්තානම් රුපියල් පහකින් වැඩිකොට තවත් 5ක් පාඩු ගන්නවා වෙනුවට 15කින් වැඩිකොට 5ක් ලාබ ගන්නා අතරම  මන්මෝහන් සිං මහත්තයාට බැනුම් අහන්නේ නැතුව දේශප්‍රේමී, ජනතා හිතවාදී තාත්තා (නැතහොත් සීයා) මෙන් පෙනීසිටින්නට පුලුවන් කම තිබුණි.

මන්මෝහන් සිංලාට මොලේ තියෙන්නේ කෝටි ගණන් ආයෝජන ඉන්දීයවට අද්දවාගෙන චීනයටත් වඩා වේගයෙන් ආර්තික වර්ධන වේගය දියුණු කරගන්නට, පරිගණක මෘදුකාංග හා සේවා අපණයනයෙන් ප්‍රකෝටිගණන් උපයන්නට මගපෙන්වන්නට, ආසියාවේ දෙවන විශාලම කාර්මික මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්කරගන්නට,  ඇමරිකානු ජනාධිපති ඉන්දියාවට ගෙන්නාගෙන "ඉන්දියාවත් ඇමරිකාවත් ලෝක දේශපාලනයේ සමාන හවුල් කරුවන්වේ..." යනුවෙන් ප්‍රකාශ නිකුත්කරවාගෙන රටේ අභිමානය හිනිපෙත්තට නග්ගවාගන්නට පමණි. මේවා සොච්චම් වැඩය. 

හෙට අනිද්දා ලංකාවට ආයෝජනය කරන්නට ලොකු ලොකු සමාගම් පෝලිමේ එනවිට මන්මෝහන් සිංලා නස්පුක් වනු ඇත. දරුස්මාන් වාර්තාව හා විදෙස් බලවේගවල කුමන්ත්‍රණ නිසා පොඩි පමාවක් තිබුණත් ඔය පමාව නොපමාව වාශ්ප වී ලංකාව විදෙස් ආයෝජන වලින් ගිලීයනු ඇත. 

අමාරු වැඩේ ආයෝජන ගෙන්නා ගැනීම නොවේ. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නා මිනිසුන් රවටා උන්ගේ හිසමතට තවත් බරක් පටවමින් රජතුමා විදුලි පුටුවේ යන එක නවත්වන්නට ගිනිදවාලේ පයින් දක්කාගෙන යාමයි, බඩගින්නේ  දැවෙන උන් හිනස්සවමින්  චන්දයත් දම්මවා ගැනීමයි. මේ මේ කශඩි දේශපාලන උපක්‍රම මැකියාවෙල්ලිගේ පොතේවත් කෞටිල්‍යගේ පොතේවත් නැත. ඉන්දියාවේ සෝනියාලාට, මන්මෝහන්ලාට මෙන්න අනාගතේ රටබාරගන්නට ඉන්නා රාහුල් ගාන්ධිලාටත් මේවගේ දේශපාලන හැකියාවන් නැත. ඒවා ඉගෙන ගන්නට මැදමූලන විශ්වවිද්‍යාලයෙන් රථාචාර්‍ය උපාධිය ලබාසිටිය යුතුය.

Friday, May 13, 2011

අසෝක ද සිල්වා චීෆ් ජස්ටිස් තුමනි සුබ විශ්‍රාම දිවියක් !

ඔබතුමා දැන් විශ්‍රාමිකය. විශ්‍රාම වැටුපද, තනතුරට අදාල සියලු විශ්‍රාමික අගවිනිසුරුවන්ට හිමි වරප්‍රාසාද ඔබට හිමිවෙනු ඇත. රජතුමාගේ සිතැඟි නොපිරිහෙලා ඉටුකල නිසා, හෝ අන් අයලවා කරවමින් තමුන් විදේශ ගතවී සිටීම නිසා ඔබට කිසිදු හෙනයකින් තොරව ජීවත්වන්නට හැකිවනු ඇත. වාසනාව පරිදි තවත් බොහෝ තාන්නමාන්නද අනාගතයේ ලැබෙනු ඇත.

එහෙත් ඔබට සතුටුවිය හැකිද?

ඔබගේ රාජපාක්ශිකභාවය නිසා මෙරටින් බිහිවුනු විශ්ෂ්ඨම සෙන්පතියා හිරබත් කයි. ඔහුට නඩු පැටලූ හොර යුද්ධාධිකරණය ඔබගේ රබර් මුද්‍රාවෙන් නීතිගතවී ඇත. ඒ පිනම ඔබට ඇත.

ඔබ චීෆ්ජස්ටිස් පදවිය හෙබවූ කාලයේදීද වෙනදාමෙන්ම අවනීතිය රජවිය. කම්බාහොරු උසාවියෙන් පොලීසියෙන් ගැලවී හාල්මැස්සන් කොටුවිය. මෙය වැලැක්වීමට ඔබ යම් පමණකින් හෝ උත්සාහයක් ගත්තාදැයි මම නොදනිමි.

මම දන්නා තරමට ඉතිහාසයේ නිවටම අගවිනිසිරුවරයා ඔබතුමායි. ඔබතරම් රජ අණට කීකරුවී තම වගකීම් පාවාදුන්, භාරදූර කාර්‍යභාරය හෑල්ල්ලුකල, වැරදි පූර්වාදර්ශදුන්, කශේරුකා විරහිත අගවිනිසුරුවරයෙක් මෙරටින් බිහිවී නැති බව මගේ පෞද්ගලික අදහසයි. ඔබගේ පූර්විකයාද පිස්සු කෙලිය නමුත අවසාන භාගයේදී හෝ යම් සාධනීය සේවයක් ඉටුකලේය.

ඔබ මේ රටේ හිටපු දූශිතම රජයේ සේවකයෙකු හට ඔබගේ පූර්වගාමියා පනවා තිබුණු තහනම එම නිළධාරියාගේ දූශණ වංචා ගැන නොසලකා, හුදෙක් නීතිමය කරුණක් මත (technicality)  නැවතත් රටේ භාණ්ඩාගාර භාරගන්නට ඉඩ සැලැස්සුවේය. මේ පල් හොරා දැන් මුලු ලෝකයෙන්ම ගිණිපොලියට ණය ගනිමින් රජපස ගිරජ්ජ සමජ්ජය පවත්වාගෙන යන්නට ප්‍රතිපාදන සපයයි. කෙසේ වෙතත් ඔබ මිය යන්නට පෙර රට බංකොලොත් නොවෙනු ඇත. ඔබගේ දරුමල්ලන්ද මුනිබුරු මිනිබිරියන්ද වෙනත් රටවල පර්මනට් රෙසිඩන්ට්ලා හෝ සිටිසන්ලා වි ඇති බව නොඅනුමානය. ඒ නිසා  කරදර වන්නට දෙයක් නැත. ඔබගේ උන් මෙහි නැත. ඔබගේ විශ්‍රාම දිවියටද  කිසිදු හානියක් නැත. ඔබෙන් පසු රටට කෙලවුනාට ඔබට මොකද?

එපමණක් නොව

ඔබ මේ රටේ ජනයාගේ නිදහසට ඇණ ගැසූ 17වැනි සංශෝධනය රාජපක්ශලාට අනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ප්‍රකාශකලේ අනාගත විනාශය ගැන කිසිදු තැකීමකින් තොරවය. පැන්ශන් ගිහිල්ලා මැරෙණ තෙක්  දෙයියනේ කියලා ඉන්න ලැබෙනවානම් රටට හෙන ගැහුවත් මොකද? ඔබ ක්‍රියාවෙන් පෙන්නුම් කලේ එම සිතුවිල්ලයි.

අපහසු, කරදරකාරී නඩු විභාගවෙනවිට ඔබ විනිසුරු පුටුව කණිශ්ඨයන්ට භාරදී රට පැන සිටියේය. ඒ ඔබ වගකීම් ඉටුකල ආකාරයයි. ඔබෙන් මතුවට ඔය පුටුවේ ඉඳගන්නාට ඔබ "සර්වයිවල් ටැක්ටික්ස්" ගැන හොඳ පූර්වාදර්ශ දී ඇත.  ඔබටත් වඩා හොඳින් ඔබගේ අනුප්‍රාප්තිකයා රජ අණ ක්‍රියාත්මක කරණු ඇත.

ඔබ සැනසිල්ලේ පැන්ශන් සුව විඳින්න..... ඔබකල විනාශයන්ගේ ප්‍රථිපල ඔබට විඳින්නට නොලැබේවා යන්න අපේ පැතුමයි. ඒ පව් ගෙවීම සඳහා පොදු ජනතාව යනුවෙන්  හඳුන්වන අවාසනාවන්තයන් පිරිසක් රටේ  සිටින්නේය.

Saturday, May 7, 2011

ඔසාමා නාටකය අවසන්කල සී.අයි.ඒ සංවිධානයේ Special Operations Group (SOG)

මේ දිනවල විදෙස් මාධ්‍ය පුරාවට බින් ලාඩන් ත්‍රස්තවාදියාව අවසන් ගමන් යැවූ රහසිගත යුධ මෙහෙයුමේ තොරතුරු පලවෙනවා. කාලීන මාතෘකාවක් නිසාත් මුම්බායි වල සියලුම පුවත්පත්වල පිටු ගණනින් මේ පිලිබඳව පුවත් පලවෙන නිසාත් මේ බ්ලොග් සටහන තබන්නට සිතුනා.

දැන් ලැබන වාර්තාවලට අනුව ඔසාමා ජීවත්වෙතැයි සැක කෙරුණු මන්දිරය මාස ගණනාවක් තිස්සේ සී.අයි.ඒ ඔත්තුකරුවන්ගේ නිරන්තර නිරීක්ශණයට බඳුන්වී තිබෙනවා. ඔසාමාගේ මන්දිරයට නොදුරින් නිවසක් කුලියට ගත් මොවුන් ඉතා සූක්ශමව ඔසාමාගේ නිවසට යන එන්නන් ඡායාරූප ගත කරමින්, අධි තාක්ශණික උපකරණ මගින් එම  මන්දිරය තුල සිදුවෙන කතා බහට පවා සවන්දෙමින් සිට තිබෙනවා. ඒ අතරම නියමු රහිත යානා ආධාරයෙන් එම නිවස අහසේ සිට නිරන්තරව නිරීක්ශණය කොට තිබෙන අතර නිවස යටින් ඔසාමාට පලායාමට හැකි ලෙස උමගත් තනා ඇත්දැයි යන්න තහවුරු කරගැනීම සඳහා එම නිවස රේඩාර් කිරණ මගින් පොලවේ මතුපිට පස් තට්ටු නිරීක්ශණය කල හැකි radar imaging satellite මගින් පවා ඡායාරූප ගතකොට තිබෙනවා.

මේ සියලුම රහසිගත මෙහෙයුම් සැලසුම්කොට ක්‍රියාත්මක කරනු ලැබුවේ සී.අයි.ඒ සංවිධානය තුල ක්‍රියාත්මක වෙන Special Operations Group  හෙවත් විශේෂ මෙහෙයුම් කණ්ඩායම  නම් අතිශය රහසිගත ඒකකයක් මගිනුයි.  සී අයි ඒ සංවිධානයේ අභ්‍යන්තර සැකැස්ම (internal organisation structure) අනුව විශේෂ මෙහෙයුම් කණ්ඩායම, National Clandestine Service හෙවත් ජාතික රහසිගත මෙහෙයුම් සේවාව තුල ක්‍රියාත්මක වන්නක්. ජාතික රහසිගත මෙහෙයුම් සේවාව සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධාන කාර්‍යංශයන් (directorate) සතරෙන් එකක් වනවා.
 සී.අයි.ඒ සංවිධානයේ ආයතන සැකැස්ම
ජාතික රහසිගත මෙහෙයුම් සේවාව තුල විශේෂ අංශ 6ක් ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රධානතම අංශයක් වන්නේ Special Activities Division හෙවත් විශේෂ ක්‍රියාකාරකම් කාර්‍යංශයයි.   මෙම කාර්‍යංශය තුල විවිධ රහසිගත දේශපාලනමය ක්‍රියාකාරකම් සිදුකරණ Political Activities Group (PAG) හෙවත් දේශපාලන ක්‍රියාකාරකම් කණ්ඩායමත්, අතිශය රහසිගත යුධ මෙහෙයුම් සිදුකරන Special Operations Group (SOG) හෙවත් විශේෂ මෙහෙයුම් කණ්ඩායමත් යනුවෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාකරනවා.

ජාතික රහසිගත මෙහෙයුම් සේවාවේ ආයතන සැකැස්ම







2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දශකයක් පුරා රඟ දැක්වුනු ඔසාමා නාටකය අවසන් කොට සිය සේනාධිනායකයා ඉදිරියේම තිරය වසා දැමූ මෙහෙයුම සැලසුම්කොට ක්‍රියාත්මක කලේ SOG කණ්ඩායමයි. ඔසාමා මරාදැමීමේ මෙහෙයුම Operation Neptune's Spear ලෙස නම්කර තිබුණු බව අලුත්ම වාර්තා හෙලිකරනවා.

ඇෆ්ඝනිස්තානයේ අමෙරිකන් කඳවුරකදී ගන්නා ලද ඡායාරූපයකි ඉහත දැක්වෙන්නේ. මේ ඡායාරූපයේ විශේෂත්වය නම් මෙහි සිටින දෙදෙනාම අවි අතදරා සිටියත් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටීම  වන අතර  ඔවුන් සතුව තිබෙන්නේ අමෙරිකානු හමුදා භාවිතාකරන M16 රයිෆල හෝ M4 කාබයින් රයිෆල නොව තලේබාන් සටන්කාමීන් භාවිතාකරන AK47 රයිෆලයි. මේ අනුව මොවුන් ඇෆ්ඝනිස්තානය තුල රහසිගත මෙහෙයුම් වල යෙදීසිටින සී.අයි.ඒ SOG මෙහෙයුම් කරුවන් බවට සැක කෙරෙනවා.

සී.අයි.ඒ සංවිධානය SOG කණ්ඩායම සඳහා අමෙකානු කොමාන්ඩෝ බලකාවල සිටින දක්ශයින් තෝරා ගන්නා අතර ඔවුන් විශේෂ මෙහෙයුම සඳහා නිරන්තරයෙන් පුහුණු කරනවා. SOG කණ්ඩායමට වැඩි වශයෙන්ම එක් වන්නේ අමෙරිකන් යුධ හමුදා කොමාන්ඩෝ එකකයක් වන ඩෙල්ටා ෆෝස්, නාවික හමුදාවේ DEVGRU හෙවත් SEAL Team 6 (ST6) හා අමෙරිකන් මැරීන් හමුදාවේ Force Recon කොමාන්ඩෝ ඒකකයේ අතිදක්ශ සෙබලුන්ය. ඔසාමා මෙහෙයුමට සහභාගිවුනු කොමාන්ඩෝ සෙබලුන්  SEAL Team 6 (ST6) බලකායෙන් SOG වෙත තෝරාගැනුනු බල ඇණියකි.

SOG  බලකායේ කාර්‍යභාර

SOG බලකායේ ප්‍රධාන කාර්‍යභාරය වන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාහට තානාපති සබඳතා මාර්ගයෙන් හෝ යුධමය ක්‍රියාමාර්ගයකින් විසඳාගත නොහැකි අතිශය සංකීර්ණ හෝ සංවේදී ගැටලුවලදී විසඳුමක් සොයාගැනීමට අවස්ථාවක් සපයාදීමයි. උදාහරණයක් ලෙස ඔසාමා සැඟවී සිටින ස්ථානය තහවුරුකරගත් විට ඔහුව මරා දැමීමට හෝ අත් අඩංගුවට ගැනීම සඳහා පාකිස්තානු රජය සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක යෙදීමට අමෙරිකාවට නොහැකිවුනේ එවැන්න සිදුකරීමට තැත්කලානම් ඔසාමාට ඒ පිලිබඳව දැනගන්නට ලැබී නැවතත් සැඟවීමට හැකියාව ලැබීමයි.  එලෙසම ස්ව්යිරී රාජ්යයක් වූ පාකිස්තානය තුලට නිළ අමෙරිකානු හමුදා ඇතුලුකොට ඔසාමාව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණේද නෑ. එකම විකල්පය වූයේ නිළ නොවන රහසිගත මෙහෙයුමකින් ඔසාමා ඩැහැගැනීම පමණයි. SOG බල ඇණිය  ස්ථාපිත කොට  තිබෙන්නේ මෙවැනි අවශ්‍යතා සපුරාගැනීම සඳහායි. ඒ සඳහා විශේශයෙන් පුහුණු කරන ලද සෙබලුන්, රසහ් තොරතුරු රැස් කරන්නන්, අති දක්ශ ගුවන් නියමුවන්, මග පෙන්වන්නන් SOG බල ඇණිය සතු මිනිස් සම්පත් වලට අයත් වෙනවා.

ඉතා රහසිගතව මෙහෙයුම්වල (black operations) යෙදෙන SOG බලකාය සිය අනන්‍යතාවයන් ආරක්ශාකර ගැනීමටත් සී.අයි.ඒ සංවිධානය හා තමන් අතර ඇති සබඳතාවය වසන් කරගැනීම සඳහා තමන් අමෙරිකානුවන් බවට තහවුරුකල හැකි කිසිදු ආකාරයක හැඳුනුම්පතක්, නිළ ඇඳුමක් හෝ අවි ආයුධ භාවිතා නොකරයි. ඔවුන් බොහෝවිට භාවිතා කරන්නේ තමන් මෙහෙයුමේ යෙදෙන රටේ භාවිතාවන ආයුධ වන අතර එරට සාමාන්‍ය ජනතාව අඳින පලදින ආකාරයට ඇඳුම් පැලඳුම් සකස්කර ගනී. මොවුන් බොහෝ දෙනෙකුට එම රටේ භාශාව චතුරව කථාකල හැකි අතර සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් ව්‍යාපාරිකයින්, විදෙස් ආයුධ වෙලෙන්දන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, සහන සේවකයින්, වෛද්‍යවරුන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, අමෙරිකානු නොවන (රුසියානු, ප්‍රංශ, ජර්මන්, ඉතාලි වැනි රටවල) සමාගම් නියෝජිතයින් ලෙස වෙස්වලාගෙන හැසිරෙයි. විවිධ ආධාර උපකාර මගින් තමන් මෙහෙයුම් සිදුකරන පලාතේ ප්‍රභූවරුන්, පොලිස් හා හමුදා නිලධාරීන් මෙන්ම දේශපාලකයින්ද තම මිතුරන් බවට පත්කරගනී.

ඔවුන් ගෙන් යම් අයෙකු විදෙස් රටකදී අත් අඩංගුවට පත්වුවහොත් සී.අයි.ඒ සංවිධානය හා අමෙරිකානු රජය ඔවුන් අමෙරිකානුවන් බව කිසිසේත් පිලි නොගනී. මේ නිසාම මොවුන් සිදුකරන මෙහෙයුම් අතිශයින්ම අන්තරාදායක වන අතර ඔවුන් මියගිය විට ඔවුන්ගේ පවුල්වලට පවා දැනුම්දීමක් සිදුකරන්නේ කලාතුරකිනි. එසේ දැනුම් දුන්නත් ඔවුන් සී.අයි.ඒ සංවිධානයේ මෙහෙයුම් වලට සහභාගීවූ බව හෙලි නොකරයි.

ඔත්තු බැලීම්, ප්‍රහාර සඳහා එන ගුවන්යානා වලට ඉලක්කය සොයා ගැනීමට මගපෙන්වීම (Laser target designation), ක්ශණික ප්‍රහාර, කඩාකප්පල් කිරීමේ ප්‍රහාර, ඝාතන, ප්‍රශ්ණකිරීම සඳහා අමෙරිකානු බලධාරීන් හට අවශ්‍ය පුද්ගලයින් පැහැරගෙන යාම්, සතුරන් හට ප්‍රයෝජනවත් විය හැකි යටිතල පහසුකම් විනාශ කිරීම්, සතුරන් හට ආයුධ ලැබෙන මාර්ග අවහිර කිරීම හා ආයුධ ගණුදෙනු කරුවන් මරාදැමීම, සාම්ප්‍රදායික නොවන ගරිල්ලා සටන් මගින් සතුරන් වෙහෙසට පත්කිරීම, භීතියට පත්කිරීම SOG බලකායේ මෙහෙයුම් ලැයිස්තුවට අයත්වෙනවා.

SOG බලකාය ගුවන් මෙහෙයුම්, සමුද්‍ර මෙහෙයුම්, ගොඩබිම් මෙහෙයුම් ලෙස කාණ්ඩ තුනකට බෙදා තිබෙන අතර ඊට අමතරව SOG මෙහෙයුම් සඳහා අවිආයුධ, උපකරණ සපයාගැනීමේ ඒකකයකුත් තිබෙනවා. SOG බලකාය භාවිතාකරන සියලුම අවි ආයුධ හා උපකරණ විදේශීය ඒවා වන අතර අමෙරිකානු රජය හෝ හමුදාවන් වෙත සම්බන්ධ කල හැකි කිසිදු අමෙරිකානු අවියක් හෝ උපකරණයක් SOG මෙහෙයුම් කරුවන් භාවිතාකරන්නේ නෑ. විදේශීය ආයුධ වෙලඳපොලවල් වලින් තමන්ට අවශ්‍ය අවි ආයුධ හා යුධ උපකරණ මිලටගැනීමට SOG සැපයුම් ඒකකයට ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. 

ඉතා ඉක්මණින් ක්‍රියාකාරී වීමේ හැකියාව, ඉක්මණින් ඕනෑම කාළගුණයකට, දේශගුණයකට, සමාජ ක්‍රමයකට හැඩගැසීමේ හැකියාව, වදහිංසා විඳදරාගනිමින් තම අනන්‍යතාවය ආරක්ශාකරගැනීමේ හැකියාව, දිවිපරදුවට තබා මෙහෙයුම සාර්ථක කරගැනීමට ක්‍රියාත්මක වීම, ඉක්මණින් මිතුරන් ඇතිකරගෙන තම මෙහෙයුම හෝ අරමුණ සඳහා සාමාජිකයින් එකතුකරගැනීමේ හැකියාව වැනි කුසලතාවයන් SOG මෙහෙයුම්කරුවන් සතුව තිබෙන විශේෂ ගුණාංග බව පැවසෙනවා.

තනිවම හෝ සයදෙනෙකු නැතහොත් ඊට අඩු ගණනකින් සැදි කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල යෙදෙන SOG මෙහෙයුම්කරුවන් සතුව වෙනත් කිසිදු අමෙරිකානු හමුදාවක් හෝ බලකායක් සතුනොවන හැකියාවන් හා පුහුණුවක් තිබෙන බව පැවසෙනවා.

SOG මෙහෙයුම්කරුවන් හට ලබාදෙන පුහුණු පාඨමාලාවට විදෙස් අවිආයුධ පුහුණුව, කුංෆු වැනි සටන්ක්‍රම, කැලෑ මාර්ගවල රිය පැදවීම් (off-road driving), අධිවේගී රිය පැදවීම්, අති දුශකර ප්‍රදේශවල දිවි රැකගැනීමේ පුහුණුව (extreme environment & wilderness survival training), පලායාමේ හා සැඟවසිටීමේ උපක්‍රම පුහුණුව, එදිනෙදා භාවිතාකරන ද්‍රව්‍ය ආධාරයෙන් පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය හා බෝම්බ සැකසීම පිලිබඳ පුහුණුව, කිමිදීම් පුහුණුව, සැඟවුනු සතුරන් සොයාගැනීමේ පුහුණුව (tracking), ප්‍රථමාධාර හා වෛද්‍ය පුහුණුව, වදහිංසාවලට මුහුණදීමේ පුහුණුව ( torture resistance training) වැනි පුහුණුවීම් රාශියක් ඇතුලත් වෙනවා.

Friday, May 6, 2011

CIA takes out its rouge agent / Europe plays a double game


















ඔසාමා මිය ගියේය. සී.අයි.ඒ සංවිධානය මගින් සැලසුම්කොට, අමෙරිකානු නාවික හමුදාවට අයත් සීල් (SEAL - Sea Air Land Soldiers) නැමති කොමාන්ඩෝ එකකය මෙහෙයුම සිදුකලේය.

දහස් ගණනක් අහිංසකයින් මරාදමා තවත් දස දහස් ගණන් මරණවලට මුදලින් හා වෙනත් ක්‍රමවලින් උපකාර කරමින්, ලොවපුරා සිටින සිය අනුගාමිකයින්ට පුලුවන්තරම් මරපල්ලා යනුවෙන් උපදෙස් දෙමින්, ඉස්ලාම් දහම ලොව අනෙක් ආගමිකයින්ටත්, ආගමක් නොඅදහන එහෙත් සාමයෙන් ජීවත්වීමට කැමති ජනතාවටත් එපාකරවන්නට පලස්තීන ත්‍රස්තවාදී යසර් අරෆත්ට පසු වඩාත්ම වැදගත් සේවය ඉටුකලේ ඔසාමාය. යසර් අරෆත් හට අඩුම ගණනනේ නිදහසට කාරණයක් හෝ තිබිණි එහෙත් සී.අයි.ඒ ඒජන්තයෙකු වුනු, ඇමරිකාවෙන් මුදල් ගරාගත් ඔසාමාට නිදහසට කරුණු නැත. 1993න් පසු ඔහු සිය අනුගාමිකයින් ලොව පුරා බෝම්බ පුපුරවමින් මරාදමන අහිංසිකයින්ගේ මලමිනී රූපවාහිනියෙන් බලමින් ප්‍රීතිවන්නට ඇත.  2001දී අමෙරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්ථානය බිමිට සමතලාවී දහස් ගණන් මියයද්දී ඔසාමා, ඔහු වසර 2000දී විවාහවුනු ඔහුගේ 17 හැවිරිදි ලපටි බිරිඳ සමග සතුටින් රමණයේ යෙදෙන්නට ඇත. (ඇය ඔසාමාගේ බිරින්දෑවරුන් 5 දෙනාගෙන් දෙවැනියට ලාබාලම තැනැත්තියයි. ඔසාමා ප්‍රථමවරට විවාහවී ඇත්තේ 17වැනි වියේදී වන අතර ඔහු විහාහ වූයේ 15 හැවිරිදි දැරියක් සමගයි. :Source:අවසන අපගේ දේශීය ත්‍රස්තවාදියාමෙන් ඔසාමා ද සුනඛයෙකු මෙන් මියගියේය.

Europe's sadness and their double game (යුරෝපයේ දෝමනස්සය හා දෙපිටිකාට්ටු වැඩ)

දැන් යුරෝපයේ කට්ටියට මෙන්ම අනෙක් රටවල සමහර ප්‍රබුද්දයන්ටත් මහත් සෝකයක්  පැනනැගී ඇත. ඔසාමා මරාදැමූ ආකාරය මොවුන් හට මහත් දුකකි. ඇමරිකන්කාරයෝ එහෙම කරේ ඇයිදැයි යන්න යුරෝපීය සත්ගුණවත් මොලවලට ගැටලුවකි.

ඔසාමා නිරායුදවයි ඉඳලා තියෙන්නේ!

තුවක්කුවක් අරගෙන වෙඩිතියන්න හදලා නෑ!

ෆොටෝවල පෙන්නන මළසිරුරු අසල ආයුධ නෑ!

නිරායුධ මිනිහෙකු මැරූ ඔබාමාට නඩු දමනු!

යුරෝපයේ මහත්වරුනුත්, අනෙක් රටවල ප්‍රබුද්ද කට්ටියත් කතාකරන්නේ කටවල් වලින්දැයි සැකයක් මේ ප්‍රකාශ දුටුවිට ඇතිවේ. මීට අවුරුදු පණහකට පමණ පෙර ලෝක යුධ සමයේ ජර්මනියේ හැම්බෝර්ග්,  ඩ්‍රෙස්ඩන්, බර්ලින් වැනි නගර මතට නොකඩවා ගිනිබෝම්ම හෙලමින් හිට්ලර්ව පැරදවීමේ නාමයෙන් එම නගරවල දසදහස් ගණනින් සිවිල් වැසියන් මරාදැම්මේ මේ යුරෝපීය මහත්වරුන්ගෙන් කොටසකි. අනෙක් කොටස වුනු ජර්මන් මහත්වරුද බ්‍රිතාන්‍යය, පෝලන්තය, රුමේනියාව වැනි රටවල නගර බිමට සමතලාකොට, ලක්ශ ගණන් යුදෙව්වන්, ජිප්සීන් වදකාගාර වලට, වහල් කඳවුරුවලට දක්කමින් ආර්‍ය ජාතියේ ම්ලේඡ්චකම ලොවට පෙන්වූවෝය. ඊටත් කලින් යටත් විජිත වැසියන් දමනය කරන්නට ඔවුන්ට වසූරිය වැනි වසංගත බෝකලේද මේ යුරෝපීය සුචරිතවාදීන්මය (මේ ඇමරිකන්කාරයෝ හරී හොඳයි කියනවා යයි වරදවා වටහාගතයුතු නැත)

දැන් මේ දෙගොල්ලන්ටම ඔසාමා මියගිය ආකාරය ගැන ලොකු ගැටලුවකි, නොසතුටකි. මරාදැමුනේ නිරායුධ මිනිසෙක් බව කියති. යටත්කොටගෙන නඩු දැමිය යුතුව තිබුණු බව කියති. ඔසාමා මරා දැමෙනවිට ඔහු නිරායුධව සිටි බව ලියන මොහොතට ටිකකට කලින් ධවල මන්දිරයේ ප්‍රකාශකයෙක් පිලිගත්තේය. ඒ අනුව කලින් ප්‍රකාශ අවලංගු කොට ඇත. නිරායුධ වුවත් නැතත් මේ මරාදැමුනේ අහිංසක නිරායුධ සාමාන්‍ය ජනතාව කිසිදු හේතුවකින් තොරව මරාදමන්නට අණකල, මුදල් වියදම් කල තුඡ්චයෙකු බව යුරෝපියන්ස්ලාට හා ප්‍රබුද්ධ ලාට මෙන්ම අපේ රටේ ඉන්නා ඇන්ටි-ඇමරිකන්ස් ලාටත් අමතකවී ඇත.

ඇමරිකන් සී.අයි.ඒ කාරයින් මෙහෙයුම සිදුකලත් මරාදැමුනේ සිල්ගන්නා උපාසකයෙකු නොව දහස් ගණන් අහිංසක ජීවිත බිලිගත්, තව තවත් ජීවිත බිලිගැනීමට අනුගාමිකයින් යොමුකරමින් මුස්ලිම් ත්‍රස්තවාදයේ ප්‍රධාන න්‍යායාචාර්‍යවරයෙකු බවට පත්වසිටි, මිනිස් සදාචාර උල්ලංඝනය කරමින් බාලවයස්කාර දැරිවියක් අඹුකොට ගත් අධමයෙකි. යුරෝපයේ මහත්තුරු මේ ටික උවමනාවෙන්ම අමතක කරමින් තමන් මහත් සීලාචාර, යුක්තිය, නීතිය ගරුකරන කට්ටියක් බව ලොවට පෙන්නන්නට උත්සහ කරයි. එසේ කරන ගමන්ම ලිබියාවේ තෙල් ආකරවල තමන්ගේ පංගුව රැකගන්නට ස්වයිරී රාජ්‍යයක් වුනු එයට බෝම්බ දමමින් මිනී මරයි (ගඩාෆි පන්නා දැමියයුතු බව හා ඒ සඳහා යුධ බලය පාවිච්චි කිරීම වරදක් නොවන බව වෙනම කතාවකි - ගැටලුව ඇත්තේ දෙබිඩි පිලිවෙතෙහිය)

Osama and CIAs Operation Cyclone (ඔසාමා හා සී අයි ඒ කුණාටු මෙහෙයුම )

1979සිට 1989දක්වා ක්‍රියාත්මක වුනු සයික්ලෝන් මෙහෙයුම සීයිඒ සංවිධානය මගින් ක්‍රියාත්මක කල දීර්ඝතම හා වැඩිම මුදලක් වැයකල රහස් මෙහෙයුමයි. සෝවියට් රතු හමුදා ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමත් සමග දියත් වුනු මේ මෙහෙයුමේ අරමුණ වුනේ සෝවියට් හමුදාවට එරෙහිව සටන් කිරීම සඳහා ඇෆ්ඝන් මුජහිඩීන් කැරලි කරුවන් සන්නද්ධ කිරීමයි. පාකිස්තානු රහස් ඔත්තු සේවාව වන ISI ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වුනු මේ වැඩසටහන මගින් ලක්ශයකට අධික ඇෆ්ඝන් හා වෙනත් අරාබි සටන්කාමීන් හට ආයුධ පුහුණුව, ආයුධ හා මිල මුදල් ලබාදුන්නා. මේ පුහුණුවීම කටයුතු සඳහා CIA නිළධාරීන් නිතරම පාකිස්තානු/ඇෆ්ඝන් දේශසීමා වලට ගිය අතර සී අයි ඒ නිළධාරීන් පුහුණුවීම සැසි දහස් ගණනක් මේ දේශසීමා අසල කඳවුරුවල පවත්වනු ලැබුවා.

1989 යම් දිනක ඇෆ්ඝන් මුජහිඩීන් ගරිල්ලා නායකයින් සමග මෙහෙයුමක් සැළසුම් කරමින් සිටිනා ඔසාමා
 මේ කුප්‍රකට සයික්ලෝන් මෙහෙයුමේ එක් සේවාලාභියෙකු වුනේ සෞදි කෝටිපතියෙකුගේ පුතෙකු වුනු ඔසාමා බින් ලාඩන් තරුණ මුජහිඩීන් නායකයායි.

2004දී විකාශණය වුනු BBC වාර්තා වැඩසටහනකින් කියැවුනේ ඔසාමා බින් ලාඩන් හට සී.අයි.ඒ සංවිධානයෙන්, ආයුධ, පුහුණුව හා රැකවරණ ලැබුණු බවත් ඇෆ්ඝන් සටන්කාමීන් සඳහා අරාබි ධනපතියන්ගෙන් ආධාර එකතුකිරීමට සී අයි ඒ එක ඔසාමාට උපකාර කල බවත්ය.

2006දී විකාශණය වුනු කැනේඩියානු රූපවාහිනී වාර්තා වැඩසටනක් කලින් බී බී සී වාර්තාව සනාතකරමින් කියාසිටියේ ඔසාමා බින් ලාඩන් සී අයි ඒ පුහුණු කරුවන් මගින් යුධ පුහුණුව ලබාගත් බවයි.

2007දී ජර්මනියේ ද ස්පීගල් පුවත්පතේ පලවුනු ලිපියක්  හෙලිකරන අන්දමට  ඔසාමා සී අයි ඒ සංවිධානයෙන් වැඩියෙන්ම ආයුධ ලබාගත් ඇෆ්ඝන් සටන්කාමි නායකයින් ගෙන් එකෙකු වී තිබෙනවා.  පුවත් පත පවසන අන්දමට 1987-89 කාලයේ පාකිස්තානයේ සී අයි ඒ ශාඛා ප්‍රධානී මිල්ට් බෙයාඩන්,ඔසාමා ඇෆ්ගන් සටන් පෙරමුනේ ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන බව පවසමින් ඔහුට ප්‍රශංසාකොට තිබෙනවා. මේ අනුව ඔසාමා සී අයි ඒ ලොක්කන්ගේ ප්‍රසාද ලැබූ "හොඳ" සී අයි ඒ ඒජන්තයෙකු ව සිට තිබෙනවා.

1997–2001දක්වා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් වූ රොබින් කුක් පවසන අන්දමට, රුසියානුවන් සමග යුධවැදීම සඳහා 1980ව දශකය පුරාම සී අයි ඒ සංවිධානය ඔසාමා ඇතුලු බොහෝ මුජහිඩීන් කැරලිකරුවන් හට අතින වීන ආයුධ ලබාදී තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ සෝවියට් අමෙරිකන් මෙහෙයුම් පිලිබඳව පොත් ගණනාවක් ලියා ඇති ආචාර්‍ය ඩේවිඩ් ගිබ්ස් පවසන අන්දමට සී අයි ඒ සංවිධානය ඔසාමා බින් ලාඩන්ව සිය මෙහෙයුම්කරුවෙකු (operative) බවට පත්කර ගත්තේ 1979 තරම් ඈත අතීතයේදීයි. ඔසාමා, සී අයි ඒ සංවිධානයේ ප්‍රියතම ඇෆ්ඝන් මුජහිඩීන් නායකයා වුනු ගුල්බුදීන් හෙක්මතියාර් සමග ඉතා සහයෝගයෙන් ක්‍රියාකොට තිබෙන බව ආචාර්‍ය ගිබ්ස් පවසන අතර හෙක්මතියාර් හරහා ඔසාමා සී අයි ඒ ඒජන්තයෙකු වූවාද නැතහොත් කලින්ම සී අයි ඒ ඒජන්තයෙකු වී සිටි ඔසාමා හරහා ගුල්බුදීන් හෙක්මතියාර් සී අයි ඒ සංවිධානයට හිතවත් වුනාද යන්න පැහැදිලි නෑ. මේ අනුව බලන කල ඔසාමා බින් ලාඩන් සයික්ලෝන් මෙහෙයුම හරහා සී අයි ඒ සංවිධානෙයේ ඒ ජන්තයෙකු හා සුවච කීකරු ගෝලයෙකු මෙන්ම ඔවුන්ගේ අණ අනුව සෝවියට් හමුදාවන් ඝාතනයක කල හොඳ සී අයි ඒ සෙබලෙකි.

Rouge agent Osama  terminated (කැලෑ පැන්න සී.අයි.ඒ ඒජන්තයා අවසන්කොට දැමේ)

රහස් ඔත්තු සේවාවල ක්‍රියාකාරීන් සිය ප්‍රධානීන්ගේ අණ නොපිලිපදිමින් හිතූමනාපයේ  ක්‍රියා කරන්නට පටන්ගත් විට ඔවුන් රෝග් ඒජන්ට්ස් හෙවත් ආයතනයෙන් නොරපාරහින ලද, විනාශකලයුතු (terminate) පුද්ගලයන් ලෙස හැඳින්වෙනවා. අමෙරිකාවෙන් පුහුණුව ලබා අමෙරිකාවට එරෙහිව ප්‍රහාර සැළසුම් කරන්නට ගත්විට සී අයි ඒ සංවිධානය ඔසාමා අයාලේ ගිය රෝග් ඒජන්තයෙකු ලෙස සලකා ඔහුගේ අල් ඛයිඩා සංවිධානය විනාශකරන්නට පිඹූරුපත් සැකසුවා. 1993වසරේ අමෙරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ (2001දී විනාශවී ගිය) භූගත රථගාලේ සිදුකල බෝම්බ පිපිරීමෙන් ආරම්භවුනු රෝග් ඒජන්ට් ඔසාමාගේ අමෙරිකානු විරෝධී ප්‍රහාර වැලේ අවසානයක් තවමත් නැතත් සී එයි ඒ සංවිධානය කෙසේ හෝ සිය රෝග් ඒජන්තයා terminate කරදැමුවේ සිය සේනාධිනායකයා වන ජනාධිපති ඔබාමාද රූපවාහිනී තිර හරහා බලාසිටියදීමයි. සී අයි ඒ සංවිධානය මේ සිදුකලේ 1989දී සෝවියට් වරුන් ඇෆ්ඝනිස්ථාන අතහැර ගියපසු මංමුලාවේ ගිය, කන්න දුන්නු අත සපාකෑ මේ ඒජන්තයාට නිසි දඬුවම් ලබාදීමයි .

ඒජන්ත ඔසමාගේ ත්‍රස්තප්‍රහාර ලැයිස්තුව (Source:Wiki) ඉතා දිගුවන අතර මෙතරම් ත්‍රස්ත ක්‍රියා සංඛාවක් සිදුකල මෙන්ම ඊටත් වඩා භයානක ත්‍රස්තක්‍රියා ගණනාවක් සැලසුම්කල මිනීමරුවෙකු මරාදැමුනු විටයි මේ යුරෝපීය හා වෙනත් සුචරිතවාදීන් නිරායුධ අහිංසකයෙකු මරාදැමුවා මෙන් දොඩවන්නේ.