Saturday, January 15, 2011

සංදර්ශණ ඕනෑකර තිබේ!

රට පුරාම අවුල් ජාලයකි. වැස්සේ කෙළවරක් නැත. නිවාස දස දහස් ගණනක්, පවුල් ලක්ශ ගණනක් අනාතය. පාඩුව කෝටි කීයදැයි ගණන් බැලීමට තව කල් වැඩිය. විනාශවූ පෞද්ගලික දේපොල කෙසේ වෙතත් පාරවල්, පාලම්, ජලමාර්ග, විදුලි කම්බි, ට්‍රාන්ස්ෆෝමර් අලුතින් සකස්කල යුතුය. වියදම බිලියන ගණනනින් නගිනු ඇත.

ඒ අස්සේ එදිනෙදා බඩුබාහිරාදිය ගිණිගණන් යමින් තිබේ. වස්ස නිසා එලවලු වලට කිට්ටුකරන්නට බැරි තරමටම ගණන්ය. කිකිලියන් ඉල්ලුමට සරිලන ලෙස බිත්තර දාන්නේ මාර්තු මාසයේ බව ඇමති කියයි. ඉන්දියාවේ අලකලංචි නිසා අල ලූණුත් ගණන් ගොසිනි.

ඒ අස්සේ හයිකොප් නඩුවත් ඇනගෙන වගේ පෙනේ. ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි ප්‍රබන්ධය නිසා ගැටගසා තිබෙන නඩුවද ආණ්ඩුවේ බෙල්ල වටේ තදවෙමින් තිබෙන බව පෙනේ.

ඇතුලේත් අවුල්ය. වයසක ජේශ්ඨයෝද වලිය, ප්‍රදේශීය සභාවල පොඩ්ඩෝද වලි දමති. වැඩ බැරි ඇමතිලා ආණ්ඩුව පාණ්ඩු වෙන්නට කලියෙන් මඩි තරකරගෙන පනින්නට ලක ලෑස්තිවෙමින් සිටී. ඒ අස්සේ බැන්කී මූනාගේ කමිටුවට විරුද්ධව නැටූ නෙයියාඩගම දැන් පාරාවලල්ලක් වෙමින් ඇත.

මේ හෙයියම්මරු නිසා රජතුමාට නින්ද නැතුවාට සැක නැත. බොරුවෙන් පැමින, බොරුවෙන් ජයගෙන බොරුවෙන්ම රෝල ගෙනයාමට තැත් කිරීමේ ආනිසංශ ඔහොමය. දැන් ඩෙඟා නටා විවෘත කිරීමට වැසිකිලියක් වත් නැති ගාණය. පපුවට ගහගෙන සිංහනාද කොට ගැලරියේ පඹයා වීමටට සුද්දන්ගෙන් පාට් එකක්වත් නැත.ඇමරිකාවට හිනා වෙලා  මෝඩ ආතල් එකක් ගන්නට තිබූ ජුලියන්ගේ විකීලීක්ස් එකත් දැන් ඇණයක් වෙමින් තිබේ

ඒ නිසා රජතුමා මේ වලෙන් ගොඩගන්නට කෙසේ හෝ ඉතා ඉක්මණින් ජනතාවගේ ප්‍රශ්ණ සති දෙකකට තුනකට හෝ අමතක කරවිය හැකි සංදර්ශණයක් අවශ්‍යය වී තිබේ. එය රජතුමා පිම්බිය හැකි එකක් විය යුතුය. ලයිව් දෙන්නට පුලුවන්, ගැත්තගෙන් වොයිස්කට් ගන්නට පුලුවන් එකක් විය යුතුය. නැත්නම් රජතුමා එරී ඇති නරාවලෙන් අඟලක් හෝ උස්සා ගන්නට අමාරු වනු ඇත.

මේ නිසා කෙසේ හෝ රජතුමට හා රොත්තට ඇදගෙන නාගත හැකි සංදර්ශණයක් සොයා දීම හෝ මවා දීම සියලූම දේසප්‍රේමී ජනතාවගේ යුතුකමකි.

Saturday, January 8, 2011

හිට්ලර් යුන්ඩ්

සියලු යව්වනයින් නායකයාට සේවය කරනු ඇත..   
හිට්ලර් යුන්ඩ් යනු 1933දී නට්සී ජර්මනියේ බලය අල්වාගත් පසු ආරම්භ කරන ලද තරුණ නාසි ව්‍යාපාරයයි. හිට්ලර් යුන්ඩ් හෙවත් හිටලර් ගේ තරුණ කැළ ලෙස නම් කරන ලද මේ ව්‍යාපාරයට 1935 පමණ වනවිට ජර්මනියේ අවුරුදු 10න් ඉහල ළමා ජනගහනයෙන් 60%ක් පමණ බඳවාගෙන තිබුණි.

දැඩි විනය,ආත්ම පරිත්‍යාගය, හිට්ලර් හා නාසි පක්ශය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීම යන මූළධර්ම මත හිට්ලර්ගේ තරුණ ව්‍යාපාරය ගොඩනගා තිබුණි.

1935දී සිදුකල දේශණයකදී හිට්ලර් පවසා සිටියේ "තරුණ බලවේග පාලනය කරන්නා අනාගතය පාලනය කරයි" යනුවෙනි. මෙසේ ජර්මනියේ මුලු මහත් අනාගතයම නාසි මතවාදයට ගොදුරු කරගෙන තරුණ පරම්පරාවේ මොල සේදීමට උපයෝගි කරගත් ආයතනික ව්‍යුහය හිට්ලර් යුන්ඩ් ව්‍යාපාරයයි. හිට්ලර් යුන්ඩ් තරුණ පුහුණු කඳවුරු වලදී හොඳින් පුහුණුව ලබන දක්ශ තරුණයින්ගේ ඊළඟ නවාතැන වුනේ "SS" යනුවෙන් හැඳින්වුනු නාසි පැරාමිලිටරි සංවිධානයයි. නට්සි ජර්මනියේ සෑම අංගයක්ම පාලණය වුනේ SS නිළධාරීන්ගේ අධීක්ශණය යටතේයි.


සාටක යුන්ඩ්?

පසුගිය පස් වැනිදා අපේ ඇස් බී මහත්තයාත් හිට්ලර් ගේ යුන්ඩ් එක වගේ තරුණ බලවේගයක් පිහිටුවන්න පලමුවැනි මතවාදී පස් පිඩැල්ල කැපූ බව ආරංචි වෙනවා. ඒ විශ්වවිද්‍යාල හා තාක්ශණික ආයතනවලට යන ළමයින්ට හමුදා කඳවුරු තුල පුහුණුවක් ලබාදීලා ඊට පස්සේ අධ්‍යාපන ආයතනවලට යැවීමේ සැලැස්මයි.

ඇමතිකම ගත්ත මොහොතේ ඉඳලාම හැම දෙයක්ම අනාගෙන ඉන්නා ඇස් බී ඇමතිතුමා මේ ලෑස්ති වෙන්නේ අපේ ලෝකල් ෆියුරර් තුමාට සැලූට් එක ගහගෙන ඕනෑම පක්කලි වැඩක් කරන්නට ඉහ මොල සෝදලා දාපු රොබෝ තරුණ රැලක් ලබලා දෙන්න. එතකොට ජවිපේ මතවාදී දේශපාලනය විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලුගෙඩි වලට රිංගවන්න අමාරු බව ඇස් බී තුමාගේ ගණදෙවි නුවනට පෙනෙන්නට ඇති.

ගෑණුන්ගේ ගවුම් වල දිග පාළණය කරන්නට කැහැපොට ගහන මේ ගොන් රැළට නොතේරෙන එකම දේ නම් විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින් ජවිපේ ආකර්ශණය වීමට හේතුව ඒ තරුණ තරුණයින්ට වෙන විකල්පයක් නොමැති වීම කියන එක.

විශ්වවිද්‍යාල වල තරුණ තරුණියන්ට අවශ්‍ය පහසුකම් සපුරා නොදී, පාඨමාලා 21වැනි ශතවර්ශයට ගැලපෙන විධියට නවීකරණය නොකර, අලුත් විධියට හිතන්න දන්න දක්ශ ආචාර්‍යවරු රට අතහැරලා යන එක නවත්වන්නේ නැතුව, විශ්වවිද්‍යාලය තුලදීම පාථමාලා වලට සමාන්තරවම රැකියා පුහුණුව ලබා නොදී හමුදා පුහුණුවෙන් විතරක් විශ්වවිද්‍යාල තරුණ තරුණියන් ජවිපේ දේශපාලන ව්‍යාපාරවලින් ගලවා ගන්නවා කියන එක විහිලුවක්.

නාමල් බේබිට විතරක් එයාර් කොන්ඩිශන් කාමරේක සෙල්ෆෝන් එකත් ලඟතියාගෙන උත්තර ලියන්න පුලුවන් විධියට නීති විද්‍යාලයේ පවා අවනීතිය රජකරවන මේ සුනඛ පාලකයින් කරන්නේ මේ රටේ තරුණ පරම්පරාවත් තවදුරත් රැඩිකල් කරන එක විතරයි. තව ටික දවසක් යනකොට උසස්පෙල අසමත් රාජපක්ශ පැටියෙකුට වෛද්‍යවිද්‍යාලයේ දොරටු විවර වෙන්නත් ඉඩ තියෙනවා. නුදුරු අනාගතයේම උදාවිය හැකි එය සිදුවිය හැකි අතර එවිට වන ශිෂ්‍ය නැගිටීම පාලනය කරන්නට වෙන්න ඕනෙ මේ සාටක බලඇණි වලින් විශ්වවිද්‍යාල පුරවන්නට හදන්නේ.

Sunday, January 2, 2011

තමුන්ගේ යෝජනා තමුන්ම තහනම් කිරීම [හෙවත් වැලේ වැල් නැති මාමාගේ පිස්සු තදවීම]

ඔන්න අපේ රජතුමා සිය රටවැසියා ගැන උපන් අපරිමිත සෙනෙහසින් දුස්ට විදුලිබල ඇමතියා අහිංසක ජනතාව සූරා කන්නට ගෙනා විදුලිබල ගාස්තු වැඩි කිරීමේ අලුත්ම යෝජනාව එනම් අනූවෙන් ඉහල පාවිච්චි කරන්නන්ට කෙලවීමේ යෝජනාව වහාම ක්‍රියාත්මක වෙන පරිදි අකුලාගෙන යුනිට් 120ට යනකම් සහනයක් දීලා.

කොච්චර චෝයිද අපේ රජතුමා? බලන්නකො නෝටි ඇමතියා ජනතාව සූරාගෙන කාලා තමන්ගේ සාක්කු පුරවාගන්න ගෙනා යෝජනාව එතුමා එක පෑන් පාරෙන් කපලා ජනතාව බේරා ගත්ත හැටි. සංවේදී නායකයෝ කියන්නේ මේවගේ උත්තමයින්ට නේද?

රටේ මහා සංඝරත්නය ඇතුලු සියලු ප්‍රබුද්ධයෝ සාධුකාර දීලා පිලිගන්න ඕනෙ තීන්දුවක් නේද මේක?

රටේ මුදල් ඇමතියා විදියට විදුලිබල මණ්ඩළයේ පාඩුව අඩුකරගන්න කියලා ඔය යෝජනාව ගෙනාවේ රජතුමාද? නෑනේ! ඔය යෝජනාව ගෙනාවේ යූ.ඇන්.පී කාරයෝ.

ඔය යෝජනාව අනෙක් අයවැය යෝජනා එක්ක සම්මත කරගත්තේ කවුද? රජතුමාට හතුරුකම් කරන ආණ්ඩුවේ බහුතරය යූ.ඇන්.පී කාරයෝ එක්ක එකතුවෙලා රජතුමාගේ ඇස් වහලා තමයි ඔය අයවැය යෝජනා ගෙනාවේ.

ඔය යෝජනා සම්මතවීම ගැන බැනර් හෙඩ් ලයින් දැම්මේ ආණ්ඩුවේ පත්තරද? නෑනේ, ඔය දුශ්ඨ යෝජනා සම්මතවීම ගැන සතුටු වුනේ දේශද්‍රෝහී යූ.ඇන්.පී/ජේ.වී.පී පත්තර කඩමාලු ටික විතරයි. ලේක් හවුස් පත්තර ඔය යෝජනා වලට විරුද්දව මොන තරම් ලිපි පල කරාද?

ඉතින් ඒ විධියට බැලුවහම දේශද්‍රෝහී යූ.ඇ.පී/ජේ.වී.පී මැර හවුල ගෙනාපු ජනතාවට කරන්ට් වැද්දීමේ මේ කුමණ්ත්‍රණකාරී අයවැය යෝජනාව පරාජය කිරීම ගැන රජතුමාට අපි අනේක වාරයක් ඉස්තූති විය යුතුයි නේද?

රජතුමානෙනේ, මුදල් ඇමතිකම දේශද්‍රෝහී, ජනතා සතුරු යූ.ඇන්.පී කාරයන්ට නොදී ඔබතුමාම මුදල් ඇමතිකම කරගෙන යනවානම් එය අපිට ඉමහත් අස්වැසිල්ලකි.

ඒවගේම අපි ඔබතුමාගෙන් තවත් ඉල්ලීමක් කරන්ට සතුටුයි. විදුලි යුනිට් 90ව 120 වෙනකම් ඉහල දැමීම නිසා අයවැය යෝජනා මගින් අපේක්ශිතව තිබූ හා දැන් අහිමි වී ඇති බිලියන ගණනක ආදායම යූ.ඇන්.පී කාරයන්ට විතරක් බලපාන අලුත් බදු ගණනාවක් හදුන්වාදීමෙන් පියවාගන්නාලෙස අපි යෝජනා කරමු.

අල, ලූණු, පරිප්පු, කරවල, කුලුල් මස්, මුංඇට, කඩල, සීනි, කිරිපිටි වගේ යූඇන්පී හා ජේවීපී දේශද්‍රෝහීන් අනුභව කරන සුඛෝපබෝගී ආහාරපාන වලට බදු වැඩිකර මේ ආදායම ලබාගන්නට පුලුවන. ඔබතුමාට හිතවත්, ඕනෑම ගොන් වැඩකට ඔබතුමාට කොන්දේසි විරහිතව සහය දෙන, දැන් බැං.කී.මූන්ගේ කමිටුවටත් කොඩි වන වනා අප්පුඩි ගැසීමට සැදී පැහැදී ඉන්නා අහිංසක ශ්‍රීලංකා කාරයෝ අනුභව කරන පිදුරු, පුන්නක්කු වැනි අත්‍යාවශ්‍ය ආහාර පාන බදු වලින් නිදහස් කොට ඒවා ලාබයට ලබා ගැනීමට ඉඩ සලසනු මැනවි.