Tuesday, August 31, 2010

නපුංසකයින්ගේ පක්සය.....

 මර්වින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බඳිනු දුටුවෙක් සිටීද?

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහ ලේකම් අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ සාක්ෂි නොමැති වීම නිසා චෝදනාවලින් ඔහු නිදහස් කළ බවයි.
ගස් බැදීමේ සිද්ධිය රඟපෑමක් බවට අදාල සමෘද්ධි නිලධාරියා විසින් පිළිගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
කැලණියේ දී සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙකු ගස් බැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වාට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනය කමිටුවක් පත් කළේය. එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඊයේ පස්වරුවේයි භාර දෙනු ලැබීය.
වාර්තාවට අනුව මර්වින් සිල්වා මහතා අදාළ චෝදනාවලින් නිදහස් කෙරුනු බව අමාත්‍යවරයා පැවසුවේය.

මේවගේ නෝන්ජල්, නිවට නියාලු, කොන්ද පණනැති පක්ශ සාමාජිකයෝ යූ.ඇන්.පී එකේවත් නෑ. ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට පස්සේ මුන් ඔක්කෝටම පර්සිගේ සෙරප්පු ලෙවකන්න වෙනවා අනිවාර්‍යයයි.

වී ගොයි මහත්තයෝ, පෙට්ටියක් තෝර ගත්තද?

විමල් වීරංවංශ මැතිතුමාගේ ලංකා සයිබර් නිවුස් වෙබ් අඩවියේ වී ගැටලුව සම්බන්ධව ලිපියක් ලියැවී තිබුණා. ඒ ලිපිය ආරම්භ වන්නේ මෙසේය.
- ගොවියා මහ පාරේ වී ගිණි තැබීම නවත්වන්නේ කෙසේද?

හැත්තෑව දශකයේ ආරම්භයේදී පී.එල්. 480 තිරිඟු පිටි ගිවිසුම මඟින් උප්පත්තිය ලබාදී එම දශකයේ අග භාගයේදී ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් භෞතීස්ම කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය විසින් රජ කරවූ පාන් පිටි සංස්කෘතිය අදවන විට මහින්ද රාජපක්‍ෂ පාලනයට මහා අභියෝගයක් එල්ල කරමින් ඇත. ඒ පාන් පිටි සංස්කෘතියේ අග‍්‍ර ඵලය ලෙස අද වී විකුණාගත නොහැකි ගොවි ජනයා නැවත වටයකින් වස බීම වෙනුවට මහ පාරේ වී ගිනි තැබීම පටන් ගෙන ඇත. Lanka C News
ආරම්භක පරිච්චේදයෙන්ම තර්කය ගොඩ නගා ඇත. එනම් වී විකුණා ගන්නට බැරිවන්නේ පාන් කෑම, එහෙමත් නැතිනම් තිරිඟු පිටි ආනයනය නිසා බව කියැවේ.

මෙය වැදගත් තර්කයකි, චින්තන රජයේ චින්තකයින් නිතරම ගෙන එන තර්කයකි. එහෙත් ගැටලුව ඇත්තේ වී ගොවියා වී විකුණා ගන්නට බැරුව ගිණි තබන්නේ තිරිඟු පිටි සංස්කෘතිය හා එයට අනුබල දෙන ප්‍රීමා සමාගමේ පගා ලැයිස්තුවේ සිටිනා නිළධාරීන් නිසාමද? මෙයින් අදහස් කරන්නට හදන්නේ මෙවැනි තක්කඩි නිළධාරීන් නැතිබව හෝ ප්‍රීමා සමාගම හෝ ඇමරිකන් පී.එල්.480 ගිවිසුමෙන් හානියක් වී නැතැයි පැවසීම නොවේ.

එහෙත්;

පාන්පිටි වලට, ප්‍රීමා සමගාමට හා ජේ ආර් / චන්ද්‍රිකා ආණ්ඩුවලට බනින විමල්ගේ සයිබර් නිවුස් ලේඛකයා මහින්ද ආණ්ඩුවේ මෛත්‍රීපාල පවුල හා තවත් ඇමති පවුලක් විසින් ගෙනියන වී මෝල් මාෆියාව ගැන වචනයක් කතා නොකරයි. කොළඹ මුදලාලිලාට වී මිලදීගන්නට පොලොන්නරුවට, අනුරාධපුරයට, මහවැලි කළාපවලට ලොරි රැගෙන යන්නට නොදෙන මාෆියාව ගැන සී නිවුස් හැංගි හැංගී කොලේ වසා ගහන්නට යන්නේ මන්ද?

ගබඩාවල ඉඩ නැතිකම, යන්තම් හෝ තෙත වී නොගැනීම, ගත් වී වලට වෙලාවට මුදල් නොගෙවීම නිසා වී ගොවියා ආණ්ඩුවේ ඇමති වී මාෆියාවේ ගැනුම් කරුවන්නට සහතික මිළට වඩා බොහෝ අඩුවෙන් වී විකුණන බව සත්‍යයක් නොවේද? කොළඹ සහල් ව්‍යාපාරිකයින් හට රටේ වී නිශ්පාදන පලාත්වලට ගොස් වී මිලදී ගන්නට නිදහසේ ඉඩ ලැබෙන්නේ නම් තරඟයක් ඇතිවී වී මිල ඉබේටම ඉහලට යන බව ආණ්ඩුවේ ආර්ථික විද්‍යා මහාචාරිය වරුන්හට නොතේරේද?

මේ සත්‍යය පෙන්වා නොදී මොවුන් කරන්නේ ගොයම කන මුවාට පතබාන්නට බැරි නිසා මුව හමට තලනවා මෙන් ප්‍රීමා කොම්පැනියට බැනීමයි. වී කුණුකොල්ලයට ගන්න නිපුන මුදලාලිලා, අරලිය මුදලාලියා අහිංසක ව්‍යාපාරිකයින්ය, වී ගොවියා විනාශකරන්නේ ප්‍රීමා සමාගමත්, ඇමරිකන් තිරිඟු මාෆියාවත්, උන්ගෙන් පගා ගන්නා නිළධාරීනුත්ය.

වී ගොවියාගේ අර්බුධය කිසි දිනක නොවිසඳෙන බවට තවත් සාක්කි කුමකටද?

දැන් වී විකුණා ගැනීම යුද්ධය පුවත් මවයි. තව මාසයකින් ලංකාදීපයේ, දිවයිනේ, ලක්බිමේ පුවත් මවන ගොවි ගැටලු දැන්ම කිව හැකිය.

1/ බිත්තර වී නොලැබී ගොවීන් අමාරුවේ

2/ සහනාධාර මිලට පොහොර නෑ, වාහන කුළි ගෙවාගෙන පෝර ගන්නට ආ ගොවීන් සති ගණන් රස්තියාදුවෙයි

3/ කලට වෙලාවට ජලය නිකුත් නොකිරීම නිසා අහවල් දිස්ත්‍රික්කයේ අහවල් කුඹුරු යාය විනාශවී ඇත.

4/ පොහොර සමග තිබුණු වල් පැලෑටි බීජ නිසා වගාව විනාශයි

5/ වී වගාවන්නට හඳුනා ගත නොහැකි කෘමි/කීඩෑ උවදුරක්

....තව දිගට ලිවිය හැකියි.

මේවා බලාගෙන ඉන්නා අපට සිද්දවෙන්නේ බඹර වලල්ලේ පොඩි එකා අවසානයේ අසනවාක් මෙන්, කළගුණ සැළකූ ගොවි මහත්තුරුන්ගෙන් මෙසේ අසන්නටය...

"වී ගොයි මහත්තයෝ, පෙට්ටියක් තෝර ගත්තද?"








 -

Monday, August 30, 2010

ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය වන, ලඟදීම ආසියාවේ ආස්චර්‍යය බවට පත්වෙන රටේ කෝච්චියේ යන හැටි.

ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය වන, ලඟදීම ආසියාවේ ආස්චර්‍යය බවට පත්වෙන රටේ කෝච්චියේ යන්න වෙලා තියෙන්නේ කුඩ ඉහලගෙන. කෝච්චි ඇමති වෙල්ගම හැම බදාදම කෝච්චියේ යනවලු කෝච්චි මගීන්ගේ ප්‍රස්න විසඳන්න. දෙයියනේ බදාදා දවසක ඇමතිතුමා කෝච්චියේ යනකොට වැහැපන්.

ලංකාදීප 30/08/2010

සිළුමිණ පත්තරේ තිබුණා මැලේසියාවත් අපිට පරාදයි කියලා. මෙන්න අපිට පරාද මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර උඩින් යන මොනෝ රේල් කෝච්චි. උදේට  හවසට තදබද වෙලාවට විනාඩි පහෙන් පහට යනවා. රින්ගිට් 1-2 මුදලකට KL අගනුවර වැදගත්, ජනාකීර්ණ තැන් බොහොමයකට පහසුවෙන් යන්න  පුලුවන්. 

 නගරෙන් පිට දුවන KTM Intercity, KTM Komuter වගේ අනිත් දුම්රිය සේවාවලුත් මොනෝ රේල් වගේම කාර්‍යක්ශමයි, පිරිසිදුයි, ලාබයි.

හැබැයි මැලේසියාවේ ප්‍රවාහන ඇමති ජනතා ප්‍රස්න විසඳන්න කෝච්චියේ යන්නේ නෑ. අමාත්‍යාංශයට වෙලා වැඩ කරනවා.  අපේ ඒකා වැඩ කරන බව පෙන්වන්න සංදර්ශණ කරනවා. පත්තරවලට හොඳ නිවුස් දෙනවා.

මැලේසියානු රේල්ලුවෙයි ශ්‍රි ලංකා රේල්ලුවෙයි වෙනස ඒකයි.

මැලේසියාවට අපිට වගේ ආසියාවේ ආස්චර්යය වෙන්න ඕනෑ නෑ වගේ. මැලේසියන් කාරයන්ට ඕනේ කොහොම හරි සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න විතරයි. හරිම සිම්පල් ප්ලෑන් එක.

හකීම්ගේ ඛේදවාචකයෙන් හා විමල්ගේ අනාථභාවයෙන් කියැවෙන රාජපක්ශ චරිතයේ යතාර්ථය.

ජනාධිපති මහින්දට 3වාරයක් හෝ ඊට වැඩි ගාණක් බලයේ එල්ලී සිටිය හැකි ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව චන්දය දෙන්නට මුස්ලිම් කොන්ග්‍රසයේ විධායක සභාව තීරණය කොට ඇති බව පැවසේ. මු.කො නායක හකීම් මේ තීරණයට එළඹියේ කිසිසේත්ම කැමත්තකින් නොවන බව නම් පැහැදිලිය. කොන්ග්‍රසයේ කෑදර මන්ත්‍රීන් සතර දෙනෙකු ආණ්ඩුවට එක්වන ලෙස කලක සිට බලපෑම් කරමින් සිටියත් හකීම්ගේ විරෝධය නිසා එය වැලැකී ගියේය. එහෙත් කල්යල් බලා රජපක්ශයානෝ යලිත් තම පක්ශය දෙකට කඩන බව හොඳින් දැන සිටින හකීම්, පක්ශයේ විනාශය වලක්වා ගැනීමට වෙන කරන්නට දෙයක් නොමැතිනිසා මෙයට කැමති වුනු බව සිතිය හැකිය.

ඉතිහාසය ගත්කල මුස්ලිම් කොන්ග්‍රසය තරම් දෙකට තුනට කැඩී ගිය පක්ශයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නැති තරම්ය. අශ්‍රොෆ්ගේ අකළ් මරණයෙන් වැඩිකල් නොගොස්ම අශ්‍රොෆ්ගේ බිරිඳ හා හකීම් අතර වුනු මත ගැටුම් ප්‍රයෝජනයට ගත් චන්ද්‍රිකා මු.කොන්ග්‍රසය දෙකට කඩා ෆෙරියල්ට වෙනම පක්ශයක්  අටවාගන්නට උදව් දී ඇයව ආණ්ඩුවට ගත්තාය. එදා සිට අද දක්වා මුස්ලිම් කොන්ග්‍රයෙන් හෝ අලියා ලකුණින් මු.කො ලයිස්තුවෙන් චන්දෙ ඉල්ලා වාසියට කෑදරකමේ ආන්ඩු පිලට පැනගත් මු.කො සාමාජිකයින් ගණන විශාලය.

පාර්ලිමේතුවේ 2/3 සරි කරගැනීම සඳහා ඕනෑම දෙකේ කොළයේ වැඩක් කිරීමට සූදානම් රාජපක්ශලා මු.කො කෑදර මන්ත්‍රී සතර දෙනාට ඇම දමා "පක්ශය කඩාගෙන හරි වරෙල්ලා" යනුවෙන් පාවඩ එළනවිට හකීම්ට සිදුවුනේ පක්ශය බේරාගනට කල යුතු දේ කරන්නටය. මිනිසුක් දුක්විඳ ගොඩනගාගත් පක්ශ කඩා බිඳ දමන්නට, මහජන මුදල් තමුන්ගේ සේප්පුවේ මුදල් මෙන් වීසි කරමින් ධන ලෝභී මන්ත්‍රීවරුන් කිසිදු සදාචාරයක් නොමැතිව බිලිබාගන්නටත් රාජපක්ශලා දෙවරක් සිතන්නේ නැත. රාජපක්ශ චින්තනය අනුව මෙරට සියලු දේශපාලකයින් හා දේශපාලන පක්ශ තිබෙන්නේ තමන්ට රිසිසේ කඩා බිඳදමමින් තම වරිගයා සදාකාලිකව රජකරවන්නට පාර කපාගන්නටය.

ඒ විතරක් නොවේ, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වැනි සටකපටින් හට ලෝබ නැතුව ඇමතිධූර පුදකරන රාජපක්ශලා හකීම්ලා ඉල්ලු ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම නොදුන්නේ හකීම්ගේ බෙල්ල මුලටම තොන්ඩුව හිරවී ඇති බව සහසුද්දෙන්ම දන්න නිසාය. කිසිවක් නොදුන්නත් හකීම්ට තම දෙපතුල ලඟ දනගසා පක්ශය බේරා ගැනීම හැර වෙන විකල්පයක් නැතිබව දන්නා රාජපක්ශ හකීම්ගේ ඇමති පට්ට්ම් ඉල්ලීම ඉවත දැමුවේ ඕනෙනම් වරෙල්ල නැතිනම් මම මට ඕනෑ එවුන් ටික ගන්නවා යනුවෙන් කියමින් වන්නට ඇති. තමුන්ගේ දෙපා ලෙවකන්නවුන්ට වීරයන් ලෙස සැළකීමත් කශේරුකාවක් ප්‍රදර්ශණය කරන්නන් විනාශ කිරීමත් බලය ලැබුනු හීනමානිකයින් අතින් බොහෝවිට සිදුවන්නකි.

හකීම්ට සලකණ හැටි පැත්තකට දැමුවත්, තමන් වෙනුවෙන් උගුර ලේ රහවෙනකම් කෑගසමින්, කෝටිපහේ පගාව වැන රට හිනස්සන සංදර්ශන කරමින් නිරුවතින් කඩේ ගිය, මහින්ද වෙනුවෙන් යටින් අතදමා උණ්ඩුක පුච්චය වුවද එලියට ඇදගෙන කපාගන්නා විමල්ට අද සිදුවී ඇත්තේද කළගුණ නොදත් රාජපක්ශලා ඉදිරියේ අසරණ වීමටය. රාජපක්ශලා විමල්ට මේසේ කොනිත්තන්නේ ඇයි දැයි යමෙකුට ප්‍රශ්ණයක් වන්නට පුලුවන් වුනත් අපට එහි ගැටළුවක් නැත්තේ රාජපක්ශ චරිතයේ ඊර්ශ්‍යයාවද එක් මුල් ගලක් වන නිසාය. විමල් පසුගිය මහ චන්දයේදී අරගත් මනාප ගොඩ දෙස බැලූවිට මේ ඊර්ශ්‍යාවේ පදනම පැහැදිලිය. රාජපක්ශ චින්තනය අනුව රාජපක්ශලාවට වඩා ජනප්‍රිය පුද්ගලයින් සිටිය නොහැකිය. ඒ අනුව අති දැවැන්ත මනාප කන්දක් දිනාගත් තරුණ විමල් කොළඹ රටේදී, බෙලිඅත්තේ රාජපක්ශලාට වඩා ජනප්‍රිය බව අමුතුවෙන් කිවයුතු නැත. විමල්ට කිසිම වැඩක් කළ නොහැකි අමාත්‍යාංශයක් දී විමල්ගේ බල කේන්ද්‍රය පිහිටි කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට කිසියම් සේවාවක් කල හැකි නාගරික සංවර්ධන අධිකාරිය ගලවා රාජපක්ශ කෙනෙකුටම පවරා ඇත්තේ ඒ නිසාය. සැලසුම පැහැදිය. මින් ඉදිරියට ඇති ඕනෑම මැතිවරණයකදී විමල් යන්තම් ගොඩ එන්නට මනාප ගන්නවා මිස රාජපක්ශලාට අභියෝගයක් වන ලෙස මනාප නොගන්නවා ඇත.

මේ සිද්ධි දෙක පෙන්වන්නේත් රාජපක්ශ චරිතයේ ඇඟිලි සළකුණ වන් අනන්‍යවූ ලක්ශණයකි. රාජපක්ෂ වූ කලි මිනිසුන්ගෙන් වැඩ ගැනීමට සහ ඔවුන්ගේ චරිත ඝාතනය කිරීමට දක්ෂ පුද්ගලයෙකු මිස තමන් වෙනුවෙන් කැප වූ පුද්ගලයින්ට කළගුණ සැලකීමට දන්නා පුද්ගලයෙක් නොවේ. කළගුණ, විනය, සදාචාරය, සාදාරණය යන වචන  රාජපක්ෂ  ශබ්ද කෝෂයේ නැත.

එපමණක් නොව, රාජපක්ශලා හොරුන්ට මෙන්ම මිනීමරුවන්ටත් දක්වන්නේ මහත්වූ සහෘදත්වයකි. රාජපක්ශලාම මරන්නට කොටින් සමග හොර ගිවිසුම් ගසා සිටි බවට බුද්ධිඅංශවලින්ම චෝදනා එල්ලවුනු ජොන්ස්ටන්ට ඇමතිකමක් ලැබී හකීම්ට නොලැබෙන්නේ මේ නිසා වන්නට ඇත. සිය අනියම් බිරිය ඝාතනය කොට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලැබූ හිතවත් දේවාල කපුවෙකුට මහා කරුණාව දක්වා නිදහසදී, රට බේරාගත් ජෙනරාල් හිරේ දමා වෛරය සංනොසිඳුනු නිසා දැන් එල්ලන්නට පිඹුරුපත් සකස්කරන්නේත් එබැවිනි. දස දහස්ගණන් මිනිස් ජීවිත බිලිගන්නට ආයුධ එකතුකල කේ.පී රාජපක්ශලාගේ ගෙවල්වලට ගොස් තේ බී කරේ අතදාගෙන ඉන්නේත් "එක ජාතියේ කුරුල්ලන් එක අත්තක වහනවා" යන කියම සැබෑ නිසා දැයි විචාර බුද්ධියෙන් සිතිය යුතුය.

Sunday, August 29, 2010

සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ වාර්තාව මහින්ද චින්තනයට අනුව කියවමු

මහින්ද චින්තනයේ ආරම්භයේම දක්වා තිබෙන අරමුණක් වන්නේ වසර තුනක් ඇතුලත මතට තිත තබනවා යන්නයි. 2009 සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ වාර්තාව නිකුත්වන්නේ මහින්ද චින්තන 1 (2009දී මහින්ද චින්තන 2 නිකුත්වුනු නිසා) එලි දක්වා වසර 5ක් පමණ ගෙවී ඇති සමයකයි. එනම් මතට තිත ව්‍යාපෘතියේ දක්වා ඇති අරමුණු ඉටුකරගන්නවා යයි දක්වා ඇති කාළවකවානුව ඉකුත්ව ගිය සමයකයි.

කොමසාරිස් ජෙනරාල්තුමාගේ වාර්තාවේ දක්වා ඇති ඉලක්කම් ආසන්නතම විශාල අගයට ගත්විට ශ්‍රී ලංකාවේ දෙකෝටියක් වන ජනතාව දේශීය මත්පැන් ලීටර් කෝට් 14ක් ගිලදමා ඇත. එනම් එක් පුද්ගලයෙකු දළවශයෙන් ලීටර් 7ක් බී ඇත. ලංකාවේ ජනගහනයන් 50%කට ටිකක් වැඩිවන්නට කාන්තාවන් සිටින නිසාත් ලංකාවේ කාන්තාවන් මත්පැන් නොබොන නිසාත් ඒක පුද්ගල මත්පැන් පාරිභෝජනය එක් පිරිමියෙකුට දළවශයෙන් ලීටර් 14ක් වනු ඇත. මේ අගය තවත් ශුද්ධ කල යුතු වන්නේ ජනහනයට වැඩිහිටියන් පමණක් නොව ළමයින්ද අයත්වන නිසායි. ඒ අනුව අඩුම වශයෙන් වැඩිහිටි පිරිමියෙක් දළවශයෙන් ලීටර් 30ක් වත් වසරකට පානය කරනු ඇතැයි සිතිය හැක්කේ ලංකාවේ නීතියෙන් මත්පැන් පාරිභෝජනය කල හැක්කේ අවුරුදු 18 වැඩි අයවලුන්ට වීම හා රටේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ලාබාල පරපුර වීම නිසාය. 18ට වැඩි වැඩිහිටි පරපුර අතර නොබොන්නන්නද විශාල ප්‍රමාණයක් සිටින නිසා බොන කට්ටිය මොනතරම් හොඳට බොනවා ඇත්දැයි සිතා ගත හැකිය.

ඉහත දක්වා ඇති සාර්ථකත්වය, චින්තනයේ ඇති මතට තිත සංකළ්පයෙන්ම තේරුම් ගත යුත්තේ මේ වැදගත් වැඩසටහන ඉතාමත් ද්වේෂ සහගත ලෙස වැරදියට අර්ථකථනය කර ඇති නිසාය. "මතට තිත" යන තේමා පාඨයෙන්ම වැඩසටහන ගැන නිසි විස්තරයක් කරයි. ගමේ භාශාවෙන් තිතට දෙනවා යනු නියමෙට කරනවා, නැත්නම් විශිෂ්ඨව කරනවා යන්නයි. ගමේ මිනිහෙකු වන, ගැමිකම, ගැමි වහර හොඳින් දන්නා මහින්ද මහරජාණෝ ගැමි වහරට අනුව මේ වැදගත් වැඩසටහන නම් කොට ඇත. ඒ අනුව "මතට තිත" යනු මත නියමෙට, නැතිනම් ඉතා විශිෂ්ඨව ප්‍රචලිත කරනවා යන සටන් පාඨයයයි. ලංකාවේ පක්ශ විපක්ශ දේශපාලකයින් අතරින් රජතුමාගේ චින්තනය නිවැරදිව වටහාගත් එකම ප්‍රබුද්ධයා විද්‍යාචක්‍රවර්තිතුමා පමණය. උන්නාන්සේ රජමාලිගාවේ මතට තිත ගැන ඉතා නිරවුල්ව අදහස් ප්‍රකාශකලේ එබැවිනි.

ඒ අනුව ගත්කල මහින්ද චින්තනයේ දක්වා ඇති පරිදි මතට තිත වැඩසටහන ඉතාමත් සාර්ථකව ඉලක්ක සපුරාගෙන ඇති බව පෙනේ. 2009දී බාර් ලයිසන් 970ක්ම නිකුත් කොට තිබීමෙන් මේ වැඩසටහනේ සාර්ථකත්වය පෙනේ. ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා ජාම බේරාගන්නට පැවැත්වූ ප්‍රවෘත්ති සාකඡ්ඡාවකදී කියූ පරිදි කාමර පහක් හෝ ඊට වැඩි හැම සංචාරක හෝටලයකටම බාර් ලයිසමක් දියයුතුව තිබේ. එතුමා එලෙස කියන්නේ බාර් ලයිසන් දෙන්නේ සංචාරක හෝටල් වල ඉන්නා සංචාරයකයින්ට බොන්නට මිස දේශීයයන්ට බොන්නට නොවන බව පෙන්නන්නටය. ඔය වගේ කාමර පහේ දහයේ හෝටල්වල නවතින්නේ අතේ සතේ නැති හිපියන් මිස බාර් එකකින් සර්විස් චාර්ජ් හා ටැක්ස් ගෙවා විස්කි අඩියක් ගහනට වත්කමක් ඇති සුද්දන් නොවන බව ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා උවමනාවෙන්ම අමතක කර ඇත. හිපියන්ට අමතරව ඔය පොඩි හෝටල් ව්ලට යන්නේ හොර අඹුවන්/ගණිකාවන් රැගෙන තාවකාලික සතුටක් ගන්නට යන සුළු ව්‍යාපාරිකයින්, රජයේ හා පෞද්ගලික අංශවල සේවය කරන යමක් කමක් ඇති මිනිසුන්ය. ඒ අනුව  කාමර පහේ දහයේ හෝටල්වලට නිකුත් කරන බාර්වලින් අඩිපුඩි ගහන්නේත් අපේම එවුන් මිස සංචාරකයින් නොවේ.

එහෙත් එතුමාට ඔයවැනි මෝඩ නිදහසට කාරණා දීම අවශ්‍යය නොවේ. මහින්ද චින්තනයේ ඇති තවත් වැදගත් ලක්ශණයක් වන්නේ ඔනෑම කෙනෙකුට මහින්ද චින්තනයේ දක්වා ඇති කරුණු ඕනෑම විදියකට අර්ථදක්වාගෙන එයට සහයෝගය පළකල හැකි වීමයි. ඒ අනුව "මතට තිත යනු මත වර්ධනය කිරිම" ලෙස අර්ථ දක්වාගෙන පුරාවිද්‍යා චක්‍රවර්තිටත්, අබේවර්ධනටත්,ආණ්ඩුවේ සිටින අනෙකුත් කනබොන මිනිසුන්ටත් ඒ අනුව මහින්ද චින්තනයට සහය දිය හැකිය. අතුරලියේ රතනලා, චම්පකලා වැනි බීමට මුළුමනින්ම විරුද්ධ අමද්‍යපලාට "මතට තිත යනු මත නැවැත්වීම" ලෙස අර්ථ දක්වාගෙන රජයට සහය දිය හැකිය. ඒ අනුව 2009දී බීම වැඩිවන්නට ඇත්තේ 2011 වන විට බොන්නට නැතිවෙන බව දැනගෙන බේබද්දන් වැඩිපුර බී ඇති නිසා වන්නට ඇතැයිද, අප රජයට සහයදෙන්නේ මේ එක අඩුපාඩුවක් දෙකක් ගැන සිතා නොව සියල්ල එකට ගෙන සංයුක්ත පුංජයක් සලකාගෙන යයිද කියමින් තමන්ගේ මෝඩ අනුගාමිකයින්ව ගොනාට ඇන්දවිය හැකිය.

මතට තිත වැඩසටහනේ තවත් සාර්ථක අංගයක් ජෙනරාල්ගේ වාර්තාවේ අඩංගුකර නැති වීම අඩුපාඩුවකි. එනම් දේශීය ගංජා කර්මානතයේ වර්ධනයයි. ලඟදී පාර්ලිමේන්තුවේ පවා මේ කර්මාන්තයේ වර්ධනය ගැන බොහෝ අදහස් හුවමාරුවුනේ ගැමි ආර්ථිකය වර්ධනය කරන්නට මහින්ද චින්තනයෙන්ම යෝජනා කොට ඇති "අපි වවමු රට නගමු" වැඩසටහනට අනුව ගංජා වගාව ප්‍රචලිත වී ඇති නිසා වන්නට ඇත. මහරජතුමා පදවිප්‍රාප්ත වන්නට පෙර බොහෝ ගැමි තරුණයින් ගොවිතැන හැරගියත් අද "අපි වවමු රට නගමු" වැඩසටහන යටතේ බොහෝ තරුණයින් ගංජා වගාවට යොමුවී සිටීම ජයග්‍රහණයකි. රට ගොඩනගන්නට පිහිටුවා ඇති නිල් බලකායේ පෙරමුණේ රාළලා වී ඇත්තේද ගංජා ගොවිතැන් කරන, ගංජා බෙදාහරින හා ගංජා පාරිභෝජනය කරන ගංජා කල්චර් එකේ තරුණයින් වීමද මහත්වූ සතුටකි. රටේ අනාගත නායකයන් වනු ඇත්තේ මලක් ඇද ආතල් එකක් ගන්නට, බෝතල් බාගයක් බී කෙලින් ඉන්නට හැකි තරුණයන් වීම සැනසිල්ලට කරුණකි. ඕනෑම විදේශීය කුමණ්ත්‍රණයකට සාර්ථකව මුහුණදිය හැකිවන්නේ කරටි කඩාගන්නේ නැතිව ආතල් එකක් ගන්නට හැකි තරුණ පරපුරකටයි.

එපමණක් නොවේ, රජතුමා මේ ලඟදී තරුණ දිනයේදී සඳහන් කළ පරිදි මේ රටේ දැන් සිටින්නේ සිනහසෙන තරුණ කැළකි. කොතරම් ඇත්තක්ද? ගංජා උගුරු දෙක තුනක් ඇද්දවිට කාමරයේ බිත්තිය, සිවිලිමේ ඇති ෆෑන් එක දෙස බලාගෙන වුවත් බඩ අල්ලාගෙන සිනාසෙන්නට පුළුවන් බව එතුමා දන්නවා ඇතයි උපකළ්පණය කලහැක්කේ එතුමාගේ ගමවන බෙලිඅත්ත, ගංජාවලට සුප්‍රසිද්ධ තණමල්විල ආසන්නයේම නිසා විය නොහැකිය.

Saturday, August 28, 2010

ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය අපි ගොඩනගා අවසන්!

ආසියාවේ ශක්තිමත් රාජ්‍යය අප ගොඩනඟා අවසන්- ජනපති

පරිපාලන සේවයට නිදහසේ වැඩ කළ හැකි පරිදි දේශපාලන ස්ථාවරත්වය සනාථ වූ ආසියාවේ ස්ථාවරම රාජ්‍ය ගොඩනඟා අවසන් බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන අරාජික බව සංවර්ධනය කරා ගමන් කිරීමේ දී බාධාවක් බවත්, වත්මන් රජයට තුනෙන් දෙකේ බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවමින් එම බාධක සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි වී ඇති බවත් පවසයි.     Silumina 28/08/2010 
  
 ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය යනු.........

1/ වසරකට දෙතුන්සීයක් ඩෙංගු මදුරුවාට ගොදුරුවන එහෙත් තවම පැලැස්තර ඇරෙන්නට ස්ථිර විසඳුමක් ලබාගත නොහැකිවුනු රටකටද?

2/ සිංහලෙන් සුද්දන්ට බැන බැන ඉංග්‍රීසියෙන් පසඟ පිහිටුවා වැඳවැටෙන නායකයින් ඉන්න රටකටද?

3/ ලෝක බැංකුවේ මීලඟ ණය වාරිකය නොලැබුණහොත් කඩා වැටෙන රටකටද?

4/ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත්
(strategically important) අමාත්‍යාංශ සියල්ලම අමෙරිකාවට බදු ගෙවන ඇමරිකන් පුරවැසියන් දෙදෙනෙකුට පවරා ඇති රටකටද?

5/ දස දහස් ගණනින් අහිංසකයින් අමු අමුවේ ඝාතනය කරන්නට මුදල් සොයමින් ලෝකය පුර මත්ද්‍රව්‍ය විකිණූ පල් හොරෙක් කර තියාගෙන යන නායකයින් ඉන්නා රටකටද?


6/ රටේ කොඳු නාරටිය වන වී ගොවි සංහතියම මුදලාලිලා දෙතුන්දෙනෙකුට බිලි ගන්නට දී බලා සිටින නායකයින් ඉන්නා රටකටද?

7/ වයසක අත්තම්මා කෙනෙකුටවත් අත් නැති හැට්ටයක් ඇඳගෙන පුද බිමකට ඇතුලුවිය නොහැකි තරමටම මූලධර්මවාදි පිස්සන්ගෙන් පිරුණු රටකටද?

8/ මිනිසුන් සතුන් මෙන් ගස් බැඳි අධම මිනිසෙකු ආණ්ඩුපක්ශයේ දෙශපාලකයෙකු වුනු නිසාම රූපවාහිණී වැඩසටහන් වලට ගෙන්වාගෙන මහා කළා රසිකයෙක් මෙන් පෙන්වා පුම්බන නිවට මාධ්‍ය තියෙන රටකටද? 


9/ මිනිසුන් ගස් බඳිනකම් උඩබලාගෙන ඉන්නා, ආණ්ඩුවේ මැරයින් නිළ ඇඳුම් ඉරමින් තොප්පි ගළවන විට නැට්ට දෙපරැන්දේ ගසාගෙන ඉන්නා පොලීසියකට නීතිය හා සාමය ආරක්ශා කිරීමේ වගකීම් පැවරූ රටකටද?

10/ නීතිපති ගොඩ පෙරකදෝරුවෙකු මෙන් විපක්ශයේ ක්‍රියාකාරීන් සිරගත කරන්නට නඩු නිර්මාණය කරමින් පිස්සු කෙළින රටකටද?

11/ දිවි හිමියෙන් සටන්කොට රට බේරාගත් විරුවන් සිරගත කරන රටකටද?

12/ බළලෝභී පාලකයින්ට ඒකාධිපතියෙක් වෙන්න යයි ආරාධනා කරමින් රටේ ජනතාව වහල් කමට දක්කාගෙන යන්නට පනින රිලවුන්ට ඉනිමං බඳින මෝඩ ආගමික නායකයින් ඉන්නා රටකටද? 

Friday, August 27, 2010

අගෝස්තු 22 ඉරිදා සිළුමිණ මුල් පුවත ඇත්තක් බව ඔප්පුවේ! : මෙන්න සාක්කි!!

අගෝස්තු 22 ඉරිදා සිළුමිණ

අගෝස්තු 22 ඉරිදා සිළුමිණේ මුල් පිටුවේ හෙඩිම දැක්ක ගමන් මට හිතුනේ "මොන පල් බොරුවක්ද මේ?" ඒ නිසාම ඒ ගැන බ්ලොග් සටහනක් තියෙන එකෙනුත් වැඩක් නෑ කියලා හිතුනා. ඒත් ඊයේ මගේ මිතුරෙක් ඔය කියන නිව්ස්වීක් සමීකශණයේ අන්තර්ජාල සංස්කරණයේ ලිපිනය මට එවලා තිබුණ  නිසා ඒක බලන්න ඉස්සෙල්ලා මොකක්ද මේ සිළුමිණ කාරයා කියන්නේ බලන්න නිකමට වගේ කවදාක්වත් නොකියවන සිළුමිණේ අන්තර්ජාල සංසකරණය තුලින් ඒ ලිපිය කියවන්න හිතුනා.

ශ්‍රී ලංකාව නොබෝ දිනකින් ම ආසියාවේ ආශ්චර්යය බවට පත්වීම නිසැක යැයි විද්වත්හු රැසක් පෙන්වා දෙති. නිව්ස්වීක් සඟරාව මඟින් කරන ලද අන්තර්ජාතික මට්ටමේ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව හිමි කැරගෙන ඇති අද්විතීය ස්ථානයෙන් ඒ බව නැවත වරක් ඔප්පු වී ඇතැයි ඔවුහු සඳහන් කරති. මෙරට ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ පිළිබඳව ‘සිළුමිණ’ ට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව යොමුව සිටින සංවර්ධන ප්‍රවේශය මත 2020 දී ආසියාවේ ආශ්චර්යය බවට පත්වීම වැළැක්විය නොහැකි බවයි. නිව්ස්වීක් සඟරාවෙන් අනාවරණය කළ පරිදි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අංක එකේ රට වන අතර ආසියානු කලාපයේ හොඳම රටවල් අතරින් සිවුවැනි ස්ථානය දිනා ගෙන ඇති බවත් ඔහු කීය.

ආචාරියලා මහාචාරියාලා ගොඩදෙනෙක් කියලා තිබුණේ, මේ නිවුස්වීක් සමීක්ශණයේ තොරතුරුමත ලංකාව ආසියාවේ ආශ්චර්‍යය වන එක වලක්වන්නම බෑ කියලා. නිවුස්වීක් සමීක්ශණ ප්‍රතිපල වෙබ් සංස්කරණය හරහා පරීක්ශාකරපු මට මේ කතාව ඇත්තම ඇත්ත බව ඔප්පු වුනා.

නිවුස්වීක් සමීක්ශණයේ වෙබ් සංස්කරණය බොහොම අපූරු මෙවලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි රටවල් දෙකක් සමීක්ශණය කරලා තියෙන අංශ සියල්ලෙන්ම ලබාගෙන තියෙන ප්‍රථිපල සංසන්දනය කිරීමේ හැකියාව. ඒ අනුව ලංකාවේ දත්ත ලෝකේ අනෙක් ඕනෑම රට දත්ත එක්ක ක්ශණිකව සන්සන්දය කොට පෙන්වනවා.

ලංකාව ඉංදියාවත් පරද්දලා උඩින් ඉන්න නිසාත් දකුණු ආසියාවේ අනෙක් රටවල් ඉංදියාවට වඩා පහලින් ඉන්න නිසාත් ඉංදියාවයි ලංකාවයි සංසන්දනය කිරීම කාලය නාස්තිකිරීමක් විධියට මට හැඟුනා. වියට්නාමය, තායිලන්තය, ඵිලිපීනය වගේ වේගයෙන් දියුණුවෙන රටවල් එක්ක බැලුවත් ගොඩක් අංශවලින් ලංකාව ඉදිරියෙන් තිබුණ බව පෙනුන නිසා ඒවා සමග සංසංදනයත් වැඩක් නෑ.

ඒත් එක්කම මට මතක්වුනා චීනය. හම්බන්තොට වරාය හදන්න කොන්ත්‍රාත්තුව ගත්තට පස්සේ උන් හරියට ආඩම්බර වෙලා බව. කරදියවර මහෝත්සවයේදී වරාය හදන රස්සාවල් වලින් වැඩිහරියක් බදාගෙන හිටියත් එක චීනෙක්වත් අපේ මහ රජාණෝ එක්ක වතුර වක්කරන්න ආවේ නෑ. ඒ නිසාමයි මට හිතුනේ චීන්නුන්ගේ පම්පෝරියේ ඇත්ත නැත්ත බලාගන්න තව අවුරුදු 10කින් ආසියාවේ ආස්චර්යය වෙන අපිත් එක්ක චීනය පෑහෙන්නේ කොහොමද කියලා බලාගන්න.

පුදුමයි ඒත් ඇත්තයි!

නිවුස්වීක් සමීක්ශණ දත්ත අනුව ලෝකයේ 66වැනි ස්ථානයේ සිටිනා ශ්‍රී ලංකාව, අපිට වඩා ස්ථාන 8ක් ඉදිරියෙන් 59වැනි ස්ථානයේ ඉන්න චීනය තරම්ම හෝ ඒ ආසන්නයටම දියුණු බව පෙනුණි!

මෙන්න සාක්කි.....

Economic Dynamism හෙවත් ආර්ථික ජවය සංසන්දනය කරනවිට.


Productive Growth of GDP හෙවත් සාපල්‍ය දල ජාතික නිශ්පාදිතයේ වර්ධනය බැලුවම ලංකාවට වඩා චීනෙ වැඩි ඩොලර් දෙදහක් වගේ සොච්චම් මුදලක්. 2/3 මුහුදයි, 1/3 ගොඩබිමයි දැන් නිදහස් නිසා ඔය සොච්චම අවුරුදු දෙකතුනකදී අල්ලන්න අපිට පුලුවන්වෙයි. Services sector අපි චීනාට වඩා උඩින් ඉන්නේ...හුරේ! කාර්මික නිශ්පාදන වලින් නම් චීනා උඩින් ඉන්නේ, ඒත් වැඩිය නෙමෙයි කොල්ලෝ.

Innovation index හෙවත් නවෝත්පාදන ආර්ථික කටයුතු සඳහා සඵලව යොදාගැනීම අතින් අපිට වඩා සොච්චමයි චීනා....ඔහොම යං. Ease of doing business ඒකියන්නේ ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව අතිනුත් ලංකාව ඉදිරියෙන්. අනිත් දෙකත් කරට කර....ඇත්ද චීනා උඹට?

Life Expectancy


චීන්නු අපිට වඩා අවුරුදු තුනයි වැඩිපුර ජීවත්වෙන්නේ, ලැජ්ජාවෙ බෑ..

Education/Literacy 

මාඕ සේතුංගේ කාලෙ ඉඳන් අකුරු බැරි ආච්චිලා සීයලා පවා ඉස්කෝලේ යවලත් අපිට වඩා 0.2 ඉස්සරහින් ඉන්නේ. චීන්නු අවුරුදු දෙකක් වැඩිපුර ඉස්කෝලේ යනවා කියලා තියෙන්නේ උන් ෆේල් වෙවී එක පංතියෙ අවුරුදු දෙක තුන ලගිනවා ඇති මගෙ හිතේ.

Political Environment : දේශපාලන වටාපිටාව.


Freedom house rating හෙවත් ජනමාධ්‍ය නිදහස අතින් අපි චීනට වඩා ගව්වක් ඉදිරියෙන්. නරකම ඉලක්කම 7 වෙනකොට චීනා 6.5, අපි හතරයි. ඒකනේ පුවත් පත් කතෘවරුන්ගෙන් රජතුමා, තමුන්නාන්සේලාට ගැටලු තියෙනවාද කියලා ඇහුවම උන් ඔක්කෝම, "අනේ නෑ ස්වාමීනී, අපි ෆුල් ආතල් එකේ මේ ඉන්නේ" කියලා කියන්නෙ. දේශපාලන කටයුතු සඳහා වන ජන සහභාගිත්වයෙනුත් අපි කොච්චර ඉදිරියෙන්ද?

අපේ රටේ වගේ ප්‍රජාචන්ච්‍රවාදයක් නැතුව ඒකාධිපති කොමියුනිස්ට් පාලනයක් තියෙන නිසා දේශපාලන ස්ථාවරභාවයෙන් නම් උන් ඉදිරියෙන් ඉන්නේ. මුළු ලෝකෙම කුමණ්ත්‍රණය කරනවානෙ මේ ජනතාප්‍රේමී ආණ්ඩුවට කොටන්න, ඒකයි ස්ථාවර භාවය අඩු. ලඟදිම විපක්සෙන් තව 10ක් යනවලු, එත්කොට ඔය ප්‍රස්නෙත් ඉවරයි ඕං....ඊට පස්සෙ ඉතින් කොන්ක්‍රීට් වගේ ස්ථාවරයි ආණ්ඩුව.

Quality of life



Quality of Life හෙවත් ජීවනයේ ගුණාත්මක භාවයෙන් අපි චීනාට දීලා තියෙනවා පොරි හැලෙන්න. එළකිරි. මිනීමැරුම් (homicides) ටිකක් වැඩිවෙලා තියෙන්නේ මේ දවස්වල පොලීසියෙන් පාතාලයෝ හොයාගෙන සුද්දයක් දෙනවනේ, ඒකයි.

පෙනවානේ දැන් සිළුමිණ වත්, ඒකෙ කොමෙන්ට් කොරපු ආචාරිය මාහාචාරිය කට්ටියවත් අබමල් රේණුවක බොරුවක් කරලා නැතිබව?

මටනම් පුදූම සංතෝසයක් දැනුනේ, අපි ඇමරිකන් කාරයොත් බය, ඉංදියන් කාරයොත් බය චීනෙට හොඳ ගේමක් දීපු එක ගැන. මලක් අදින්ට තරම් සොමියක් ආපු නිසා වේළපු පැලෑටියක් එවප්ං කියලා යාළුවෙකුට ඊමේල් එකක් ගහනකොට දැක්ක ගූගල් එකේ නිවුස් එකක්. තාමත් මට මොකුත්ම හිතා ගන්න බෑ, මල අදින්නත් ඉස්සෙල්ලා මල් වෙලා වගේ....

මෙන්න ඒ නිවුස් එක......

"චීනය, ජපානය අභිබවා ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික බලවතා බවට පත්වෙයි, දැන් චීනය දෙවැනි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණි!  -  නිව්යෝක් ටයිම්ස්"

කිරි අප්පොට බල්ලො පැනපි! දැන් මොකෑ කරන්නේ?....මං තක්කු මුක්කු වෙලා. ඔය අස්සේ අර මොකෙක්ද සුද්දෙක් කියාපු "There are lies, damn lies and statistics " කියන හරුපෙත් යාන්තමට මතක් වුනා.

කළබල වෙන්න එපා, මම මේ කියන්නේ සිළුමිණ බොරුකලා කියලා නෙමෙයි, ඇත්ත වශයෙන්ම බොරු කියලා තියෙන්නේ නිවුස්වීක්, නැත්නම් නිව්යෝක් ටයිම්ස්....

http://www.nytimes.com/2010/08/16/business/global/16yuan.html?_r=1


අලුතින් අරක්කු ලයිසන් දෙන්න හොඳයි, දීපු ලයිසන් අලුත් කරන්නත් හොඳයි, අරක්කු විකුණලා බදු ආදායම ගන්නත් හොඳයි හැබැයි බීලා ලෙඩවුනොත් බලාගෙනයි, බේත් සල්ලිවලට විතරයි ගොයියෝ!



  • දේශීය මත්පැන්වලින් රජය ලැබූ බදු ආදායම රුපියල් කෝටි දෙදහස්‌ අටසිය පනස්‌ එකක්‌ බව සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ පාලන වාර්තාව පෙන්වා දෙයි.

  • 2009දි අලුතින් බාර් ලයිසන් 970ක් නිකුත් කරලා

  • ලබන අවුරුද්දේ ඉඳන් අරක්කු බීලා ලෙඩවෙන මිනිස්සුන්ට නොමිලේ ප්‍රතිකාර නෑ.

අලුතින් බාර් ලයිසන් දිදී රටපුරාම විතරක් නෙමෙයි සමහර සංඝයාගේ ආශීර්වාදය ඇතුව ජනාධිපති මන්දිරෙත් අරක්කු බොන්ඩ දෙන රටක, ආණ්ඩුව වැඩිම බදු ආදායමක් අරක්කු බෝතලෙන් උපයාගන්නා රටක, අරක්කු පාරිභෝජනය වැඩි කරන්න හැම හන්දියකම, රෙස්ටුරන්ට් එකකම , හෝටලයකම බාර් ඇරලා තියෙන රටක, අරක්කු පාරිභෝජනය අඩුකරන්න කියලා බීලා බීලා ලෙඩවෙන, අණතුරු වලට මුහුණපාන මිනිස්සුන්ගෙන් ප්‍රතිකාර වලට සල්ලි ගන්න එක හරිද?

බොන එක ඔච්චරම කරදරයක් නම් ඇයි අලුතෙන් බාර් ලයිසන් දෙන්නේ? ඇයි පරණ ලයිසන් අලුත් කරන්නේ?

ඇයි අරක්කු විකිණීම තවමත් නීත්‍යානුකූල? එක ගැසට් නිවේදනෙන් අරක්කු තහනම් කරන්න පුලුවන්නේ රජතුමාට. ඇයි මැරවින් ඔය එක වචනෙන් බාර් වැහුවේ කැළණිය ප්‍රාදේශීය රාජධාණියේ, ඉතින් මහ රජ්ජුරුවන්ට මොකෑ බැරි?

අනිත් හැම වැඩේදිම වගේ මෙතනත් කරන්නේ බොරුව. සිංහලෙන් බැනලා ඉන්ග්‍රීසියෙන් වඳිනවා වගේ තමයි මේ වැඩෙත්.

බොන එවුන් පවා බොරුවට සාදුකාර දෙනවානෙ ඔහොම කතාවක් කිව්වාම, "හරිම කාලෝචිත, දේශප්‍රේමී, ජනතා හිතවාදි වැඩක් කියලා...." එකෙක්වත් අහන්නේ නෑ, "ඇයි යකෝ, අරක්කු බොන එක තහනම් කරලා, බාර් වහලා, අරක්කු කොම්පැණි සීල් තියපල්ලකෝ වැඩේ ඉවරනෙ...." කියලා.

ආණ්ඩුවේ වියදම් පියවගන්න අරක්කු රේන්දෙට කෙල හල හල බාර් ලයිසන් දෙනවා. ඒ වායේ විකිණෙන අරක්කු බීපු එකෙක් ලෙඩ වුනාම, ඇක්සිඩන්ට් වුනාම, ලෝකෙට පොරකාසෙට සල්ලි ගන්නවා කියනවා. එතකොට මොකක්ද ආණ්ඩුවේ තර්කය? අරක්කු විකුණන්න හොඳයි, අරක්කු ලයිසන් දෙන්න හොඳයි, විකිණෙන අරක්කුවලින් බදු ආදායම ගන්නත් හොඳයි, හැබැයි බීලා ලෙඩවුනාම නෝ ෆ්‍රී ට්‍රීට්මන්ට්?

ඒ කියන්නේ මිනිස්සු සල්ලි දීලා අරක්කු අරගෙන,ආණ්ඩුවට බදු ආදායමක් අරගෙන දීලා, බෝතලේ කාණුවට හලලා ගෙදර යන්න ඕනෙ කියන එකනෙ? ඇයි ඉතින් මිනිස්සු අරක්කු ගන්න එක අඩුවුනොත් ආදායමත් අඩුවෙනවනේ? ඒනිසා දේශප්‍රේමී ජනතාවක් විධියට, හොර කසිප්පු නොබී රජයට ආදායමක් ලැබෙන සීල් අරක්කු ගන්නත් ඕනෙ හැබැයි රජයට සෞඛ්‍ය වියදම් වැඩිවෙන නිසා නොබී ඉන්න ඕනෙ.

අනිත් එක රටේ ලොකුම අරක්කු කොම්පැණියේ අයිතිකාරයා රජතුමාගේ හොඳම විස්වාසවන්තයෙක්, ඒකනෙ එයාට පැට්‍රෝල්, ඩීසල් බිස්නස් එකත් බාරදුන්නේ ලාබ පෙන්නලා දෙන්න. ඒ නිසා අරක්කු නිස්පාදනය කරන එක, මාකැට් කරන එක රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු හොඳ සම්මා කම්මන්තයක්. සල්ලි දීලා අරක්කු ගන්න එක රජයට ආදායම් ලබාදෙන හොඳ වැඩක්, සල්ලි දීලා ගත්ත ඒවා වීසි කරන්නේ නැතුව බොන හැත්ත තමයි කාළකණ්නි.

මේවගේ හතර බීරි කතා කියලා,ඔටු වැඩ කරලා යහතින් ඉන්න පුලුවන් නායකයෝ ඉන්න ලෝකෙ එකම රට ලංකාව විතරයි. ඒකනේ ආසියාවේ ආශ්චර්‍යය කියන්නේ. වෙන රටකනම් පුකට පයින් ගහලා පන්නලා රොත්තම.

Thursday, August 26, 2010

ප්‍රවාහන ඇමැති සෑම බදාදාම දුම්රියෙන් කොළඹට එයි! : තවත් සංදර්ශණ පප්පෙක් බිහිවෙලා වගේ?

Divaina - 26/08/2010

කුමාර වෙල්ගම එයාගෙ නායකතුමා වගේම ශෝ පප්පෙක් වෙලා වගේ. ඔය විධියට කෝච්චියෙ බඩගගා කාලෙ කන්න ඕනෙද දුම්රියෙන් යන මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදන්න? ඔහොම නම් ඉතින් කිලෝමීටර් 63,327ක් පුරාවට ස්ටේශන් 6909ක නවත්ත නවත්ත දවසකට මගීන් මිලියන 20ක් ප්‍රවාහනය කරන ඉන්දියානු දුම්රිය සේවය භාර ඇමතියා වෙන බෙනර්ජී මහත්තයට මේ කල්පයේදී මහජන ගැටළු විසදන්න බැරිවෙනවානෙ.

කුමාර වෙල්ගම ඔය කෝච්චියේ බඩගාන්නේ බොරුවට වැඩ කරනවා කියලා පෙන්නලා ලකුණුදාගන්න විතරයි. අනිත් එක බලමුකො දවස් කීයක් ඔය විදිහට කෝච්චියේ යන ගමන් ප්‍රස්ණ විසඳයිද?

ආසියාවෙ හොඳ දුම්රිය සේවාවල් තියෙන රටවල් වෙන මැලේසියාවේ, තායිලන්තයේ දුම් රිය ඇමතිලාත් ඒ රටවල් වල සේවා කාර්යක්ශම කලේ කෝච්චිවල බඩගාලා නෙමෙයිනෙ. ප්‍රශ්ණ ඇතිවෙනකොට, ඒවා ඔඩු දුවන්න දෙන්නේ නැතුව, ඉක්මණට විසඳලා. ඩලස් අලහප්පෙරුමත් ඔයවගේ බොරු සෝබන ගොඩාක් කරලා, කයිවාරු කෙල කෙල අවුරුදු කීයක් ප්‍රවාහනේ ඇමතිකම කරාද? මොකක්ද වුනු දියුණුව? දැන් වෙල්ගම ඩලස්ටත් වඩා කෙබර කෙලිනවා.

මුන්නේස්වරම් බිළිපූජා විරෝධය හෙවත් සංඝ සම්මේලනයට නව සතුරෙකු ඕනෑවීම.

සංඝ සම්මේලනයට හදිස්සියේම චිරාත් කාලයක් බිලිපූජා කරගෙන ගිය මුන්නේස්වරම් කෝවිලේ මැරෙන සත්තු ගැන දුකක් ඇතිවුනේ කොහොමද? මෙච්චරකල් මුන්නේස්වරමේ සත්තු මරනවා කියන එක උන්නාන්සේලා දැනගෙන හිටියේ නැද්ද?

අනිත් එක සත්තු බිලි දෙන්නේ මුන්නේස්වරමේ විතරද? එතකොට අර කළුතර තියෙන මුස්ලිම් පල්ලි දෙකේත් ඔයවගේම වාර්ශිකව මහා එළු ඝාතන සිදුවෙනවානේද? ඒ පැත්තේ උපවාසයක් කරලා සිහල මුස්ලිම් වලියක් ඇද ගත්තොත් නරකද?

මොකක්ද මේ සඟගණ කරන්නට යන්නේ? වසර සිය ගණක් සතුන් බිලිපූලාවලට බිලිදුන් මුන්නේස්වරම ගැන ඇයි මේ හදිස්සි කැක්කුමක්?

මට හිතන විධියට මේකයි හේතුව : ප්‍රභාකරන් මැරිලා, ඇල්ටීටීය විනාශවුනාට පස්සේ දේශපාලන සංඝ සමාජයට සතුරෙකු නැතිවෙලා තියෙනවා. අපි දන්න විධියට ඕනෑම දේශපාලන ප්‍රවාහයක පැවැත්මට, අනුගාමිකයින්, දායකයින් එක් රොක් කරගැනීමට සතුරෙකු අවශ්‍යමයි. ආණ්ඩුව කරන්නේත් ඒ ටිකමයි. ප්‍රභාකරන් සතුරා නැතිවුනාට පස්සේ ආණ්ඩුව බැන්කීමූනා එක්ක, EU/UN එක්ක හැප්පෙන්නේත් සතුරෙකු මවා ගැනීමේ දේශපාලන අවශ්‍යතාවය නිසාමයි.
මේ සිද්ධාන්තය සංඝ සම්මේලනයටත් පොදුයි. ඔවුනේ චිරාත්කාලීන සතුරා නොහිතපු විධියට මි‍යෑදුන නිසා ඒගොල්ලන්ටත් දැන් දායකයෝ, උවැසියෝ රඳවාගන්න අමාරුවෙනවා ඇති,  ඒ නිසා දැන් සතුරෙකු මවාගත යුතුයි.

මේ සංඝයාගේ මේ සත්ව ප්‍රේමයත් හරියටම රාජපක්ශ ආණ්ඩුවේ බොරු දේශප්‍රේමය වගේමයි. ආන්ඩුව බොරු දේශප්‍රේම පාට් දාන්නේ සතුරෙකු මවාගන්න වගේම දානෙට චිකන් කන හාමුදුරුවරු ඔතන බිලිපූජාවලට එරෙහිව දඟලන්නෙත් සතුරෙක් මවාගන්න ඕනෑ හින්දයි. ආණ්ඩුව සිංහලෙන් සුද්දන්ට, බැන්කීමූනාට, EU කාරයින්ට පස්පඩංගුවේ බැන බැන කාටත් නොතේරෙන්න ඉන්ග්‍රීසියෙන් වැඳවැටෙනවා, සල්ලි ඉල්ලලා හිඟමනේ යනවා.

ඔය වගේමයි මේ සංඝයාගේ සත්ව ප්‍රේමය. ගිණි අව්වේ ඉඳගෙන බිලිපූජා නවත්වන්න කියලා ඉඳගෙන උපවාස කරාට, හොඳට තුන පහ, ලුණු ගම්මිරිස් දාලා රසට හදපු චිකන් කරියක්, එළුමස් කරියක් දානයට ගෙනත් දුන්නොත්, ඔය උපවාස කරන උන්නාන්සේලාගෙන් කීදෙනෙක් ප්‍රතිපත්තියේ විධියට මස් නොකා ඉඳයිද? කී දෙනෙක් තළු මරමර පින් දිදී මස් කුට්ටි ටික ගිල දායිද? ඇහුවොත් කියයි "දායකයෝ දෙන නිසා කනවා නැත්නම් දායකයාගේ දාන පාරමිතාව සම්පූර්ණවෙන්නේ නෑනෙ"   කියලා. හැබැයි දායකයෝ කියන්නේ හාමුරුවන්ට අපි බලෙන් චිකන් දෙන්නේ නෑ, ආසාවෙන් කන නිසා දෙනවා කියලා.

තිබහට වතුරටිකක් හොයාගන්න බඩගින්නට කන්න දංකුඩ ටිකක් හොයාගෙන පංසල් වත්තට රිංගන බලු නකුටෙකුටවත් ඔය උන්නාන්සේලා ගල් කැටයකින් ගහලා එලවන්නේ නැතුව කාරුණිකව සළකනවානම් ඒ ඇති.

අනිත් එක, මුන්නේස්වරමේ බිලිපූජා දෙන්නේ අවුරුද්දකට එකපාරයි. බයිරහා ෆාම්ස්ලා, ක්‍රිස්තෝම්බුලා, උඩු පුස්සැල්ලාවලා, නෙල්නා ෆාම්ස් ලා industrial scale එකෙන් සතියේ දවස් 5-6ක් සතුන් සිය දහස් ගණනක් මරන්නේ නැත්ද? ඒ මැරෙන්නේ සත්තු නෙමෙයිද? මුන්නේස්වරමේ මැරිල්ල නවත්වන්න ඉස්සෙල්ලා චිකන් ෆාම් කාරයෝ දිනපතා සිදුකරන මේ සමූළඝාතන නවත්තලා හිටියොත් හොඳයි නේද?

ඒවා නවත්තලා කොහොමද කටට රහට චිකන් කෑල්ලක්වත් වලඳන්නේ? නේද හාමුදුරුවනේ? දෙමෙල්ලුන්ගේ බිලිපූජාව නවත්වන එක තමයි යුගයේ අවශ්‍යතාවය.

අනේ මෙහෙමත් ආත්ම වංචනික බොරුකාරයෝ

Wednesday, August 25, 2010

වාරණ පොල්ල වැටී තහනම් වුනු "දි ඉකොනොමිස්ට්" සඟරාවේ ආටිකල් පොජ්ජ මෙන්න!

සටහන : පිටු අසූවක ඉකොනොමිස්ට් සඟරාවේ පිටු තුන්කාළකටත් අඩුවෙන් පිරැවුනු මේ ලිපියේ අප බොහෝ දෙනෙකු දැනටමත් නොදන්නා, රජයේ නොවන පුවත් පත්වල දැනටමත් පලනොවුනු කිසිවක් නැත. එහෙත්, මෙය තහනම් කරන්නට ඇත්තේ "අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඒ නිසා අපි කරනවා" යන උද්දච්ඡ මානසිකත්වයෙන් විය යුතුය.

මෙවැනිම පරිවර්තන කිහිපයක් බ්ලොග් අවකාශයේ මෙන්ම, සති මැද පුවත්පතකද පලවී තිබුණි. මෙය එවන් තවත් එක් සංස්කරණයක් පමණි.

වැරදි ඇතොත් සමාවෙන්න...........


  • Download the PDF copy of the August 21st-27th "The Economist" full magazine from links given at the end of the article.
  • Double click the image below to read the original article.  



ශ්‍රී ලංකාවේ පස්චාත්-යුධ ප්‍රතිසංස්කරණය : වැඩිදෙනෙක් මිලක් ගෙවන නැවත ගොඩනැගීමක් (Sri Lanka's post-war reconstruction : Rebuilding at a cost)

තද නිල් පැහැති කමිසයකින් සැරසුනු කුමාරස්වාමී නාගේස්වරන් දුක්මුසු ලීලාවෙන් ත්‍රිකුණාමලය වෙරළ ආසන්නයේ පිහිටි සිය ගම්මානය හා සිය අක්කර තුනක වගාබිම කොටුකරගත් උස් ආරක්ශක වැට පෙන්වයි. සාම්පූර් සහ අවට ගම්මානවල වැසියන් සිය ගම් බිම් අතහැර පලාගියේ මීට වසර පහකට පෙර දෙමල සටන්කාමින් හමුදාව සමග දරුණු සටන්වල පැටලී සිටි කාළයේදීයි. ඔවුන් හට නැවත ගම්බිම් කරා ඒමට අවස්ථාව ලැබුණේ මීට සයමසකට පෙරදීයි. එසේ පැමිණි ඔවුන්හට දක්ණට ලැබුණේ තමන් රජයේ පස්චාත්-සටන් සංවර්ධන සැලසුම්වල ගොදුරක් වී ඇති ආකාරයි. කුමාරස්ස්වාමි නාගේස්වරන්ගේ ගම්මානය මෙන්ම ගොවිපොල තිබූ සාම්පූර් ගම්මානය පිහිටියේ යුධ සමයේදී දෙමළ සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් පාලනය පිනිස පිහිටවූ අධි ආරක්ශිත කලාපයක් ලෙස නම් කල භූමි භාගයකයි. 2009 මැයි මාසයේදී දෙමළ සටන්කාමීන් සම්පූර්ණයෙන්ම පරාජය වුනු නමුත්, අධි ආරක්ශිත කළාපය එලෙසම පැවතීම නිසා සටන් වලට බියෙන් සාම්පූර් ප්‍රදේශයේ ගම් බිම් අතහැර පලාගිය 6000ක් පමණ ජනතාවට තවමත් සිය නිවෙස් කරා පැමිණීමට නොහැකිවී තිබෙනවා.

මේවන විට, නාගේස්වරන් දක්වා සිටි ආරක්ශිත වැටෙන් කොටු කෙරුණු සාම්පූර් ප්‍රදේශය, ඉන්දියානු රජයේ සහයෝගයෙන් නිමැවෙන මෙගාවොට් 500 ගල් අඟුරු විදුලිබලාගාරයක් තැනීම සඳහා ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතිනවා. බලාගාරයට අමතරව ජැටියක් හා විශේෂ ආර්ථික කළාපයකුත් සැළසුම් වී තිබෙනවා.ශ්‍රී ලංකා රජය මේ ප්‍රදේශයේ විශාල පරිමාණයේ ගොඩනැගීම් මහත් රාශියක් සිදුකරමින් පවතිනවා. තවමත් කින්නියා සිටි මුතූර් දක්වා ඇති කෙටි දුර ගමන් කිරීමට වල ගොඩැලිවලින් ගහන අබලන් පාරවල් වල යායුතු අතර, ගමනේ තුන් තැනකදී පිටත එන්ජින් සවිකල පාරු වලින් යා යුතු වෙනවා. එහෙත් මේ අබලන් මාර්ග වේගයෙන් පිලිසකර වෙමින් තිබෙන අතර ඉතා නුදුරේදීම වෙහෙසකර පාරු ගමන් වෙනුවට නිමැවෙමින් තිබෙන පාලම් භාවිතාකල හැකි වනු ඇති.

කින්නියා-මුත්තූර් ගමන අතරමගදී පසුවෙන කුඩා නගර හා ගම්මානවල ජනජීවිතය කෙමෙන් කෙමෙන් යථාතත්වයට පත්වෙමින් තිබෙනු පෙනේ. 2006 දී දරුණු සටන් ඇවිලුනු මුස්ලිම් නගරයක් වන මුත්තූර් පවා සාමය උදාවීමෙන් පසු යලිත් හිස ඔසවමින් තිබේ. පාසැලක්ද ඇතුළුව නව ගොඩනගිලි ඉදිවෙමින් තිබෙන අතර විනාශවූ ගොඩනැගිලි සෙමින් සෙමින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. තව ආධාර මුදල් ලැබුණහොත් මේ ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය තවත් වේගවත් වනු ඇත.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලංකාර මුහුදු වෙරලවල් අසබඩ ඉඩකඩම් විශාල ප්‍රමාණයක් රජයේ නිළධාරින් විවිධ සංචාරක ව්‍යාපෘති හා තරු හෝටල් සඳහා වෙන්කර ඇති බව පෙනේ. මෙසේ වෙන්කරන ලද ඉඩම් විවෘත ටෙන්ඩර් පටිපාටියක් මගින් බෙදාහරින බවට රජයේ නිළධාරින් ප්‍රකාශකලත් ප්‍රදේශයේ ජන නායකයින් ප්‍රකාශකරන අන්දමට මේ ඉඩම් මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාගේ අන්තේවාසිකයින් අතර බෙදීයනු ඇතයි ඔවුන් සැක කරයි. මෙවැනි වටිනා ඉඩකඩම් දකුණෙන් පැමිණෙන ජනපතිවරයාගේ හිතවතුන් අතර බෙදීගියහොත් ප්‍රදේශයේ පදිංචි සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාවට මේ ඉඩම් බෙදීමේදි වැඩි අයිතිවාසිකමක් ලැබිය යුතුයැයි කෙරෙන ඉල්ලීම බිහිරි අලින්ට වෙණ වැයුමක් වනු ඇත.

අවතැන්වූවන් හට සුභසාධනය සලසන සංවිධානයක ප්‍රධානියා වන නාගේස්වරන් මේ ඉඩම් කොල්ලයට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට උත්සහ දරයි. රජය ඔවුන් හට විකල්ප ඉඩම් වෙන්කර ඇතත් නාගේස්වරන් පවසන අන්දමට මේ ඉඩම් නිසරු පසක් හා ජලය හිඟ වගාවන්හට නුසුදුසු බිම්ය. ඊටත් අමතරව මේ ඉඩම් ලැබෙන්නේ ඔවුන්ගේ වැදගත් ජීවිකාවක් වන මසුන් මැරීම කරගත නොහැකිවන ලෙස මුහුදට ඉතා ඈත ප්‍රදේශයකිනි.මෙවැනි සැලසුම් කිරීමට පෙර බළධාරින් කිසිවෙකුත් ඔවුන්ගෙන් අදහස් විමසා නැති අතර මේ අසරණ මිනිසුන් හට "ශ්‍රී ලංකාව පාලනය කරන පවුල" හමුවී සිය දුක් ගැනවිලි කියාපෑමේ කිසිදු ඉඩකඩක් නොමැත.

මුතූර් යන අතරමගදී හමුවූ යුධ හමුදා සෙබලෙකු පවසූ අන්දමට රජයේ ඇමතිවරු මෙහි සිදුවනදේ හොඳින් දන්නවා. රජයේ නිළධාරීන් මේ පෙදෙස් වල නිතරම සංචාරය කරනවා. කලින් සටන්කාමියෙකුව සිටි, දැන් රජයේ ඇමතිවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නිතරම මේ ප්‍රදේශයට පැමිණෙන අතර ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි යුධ විරුවන් සිරගෙයි ලගිද්දී මෙවැනි සතුරන් හට ආචාර කරන්නට සිදුවීම ඉතා පිළිකුල්සහගත බව මේ සෙබලා පවසාසිටියා.

ශ්‍රී ලංකාව බිහිකල එකම තරු හතරේ ජෙනරාල්වරයා වන ෆොන්සේකා මහතා දෙමළ සටන්කාමින් පැරදවූ සටනේ නියමුවා වන අතර,මෑතදී පැවැත්වුනු චන්දයකදී මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට අභියෝග කල ඔහු යුද්ධාධිකරණයකින් වැරදිකරු කොට නිළයෙන් පහකොට ඇති අතර දිනා සිටි සියළු උපහාර හා පදක්කම් නිශ්ප්‍රභ කර ඇත. විපක්ශයට එරෙහිව රජය පුළුල් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනෙන්නට තිබෙන අතර අගෝස්තු 13වැනිදා ෆොන්සේකා මහතාගේ පක්ශයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධතාවකදී කඳුලු ගෑස් හා බැටන් පොලු වලින් සන්නද්ධ වුනු කැරළි මර්ධන පොලීසිය මගින් අත්ඩංගුවට ගැනුණි.

යුද්ධයෙන් පසු රට සංවර්ධනය වෙමින් තිබේ එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඉතා දුර්වල අඩියක ඇතිබව පෙනී යයි.


Download the PDF copy of the magazine;

===================================
 Free download from Hotfile (42.4 MB)

Free download from Fileserve (42.37 MB)

Free download from Keepfile (42.4 MB)
 ===================================
All links tested and working as at 25th August 2010

ඉනාමළුවේ සුමංගල රජතුමාට ඒකාධිපති පාලනයකට විවරණ දෙයි!

ජනාධිපති රාජපක්ශ සීගිරි ලළනාවන් ආරක්ශාකරගන්නා ආකාරය ගැන පුරාවිද්‍යා විශේෂඥයින්හට උපදෙස් දී, දැනටමත් නවත්වා ඇති ඉදිකිරීම් නවත්වන ලෙස නියෝගකොට වෙන වැඩක් නැති නිසා සීගිරි නැරඹීමට පැමිණි ජනයා සමග කතාබස් කරමින් සිට, තවත් කා දමන්නට කාළය ඇති නිසා රන්ගිරි දඹුළු විහාරයට ගොස් ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝ හමුවී ඇත.

දැන් ආරංචි වන විධියට උන්වහන්සේද කල්යල් බලා තාච්චිය රත්වී ඇති බව හොඳින් දැනගෙන එතුමාට වටිනා අනුසාසනාවක් කර ඇත

මොකක්ද මේ වටිනා අනුසාසනාව?

"  ජනපතිතුමනි, මේ රට දියුණු කරන්නට මානවහිතවාදී ඒකාධිපති පාලනයක් අවශ්‍යය. මම දන්නා හොඳම මානව හිතවාදියා ඔබතුමායි. ඒ නිසා ඉදිරි වසර හය මානවහිතවාදී ඒකාධිපති පාලනයක් ගෙනයන්න! "


ඔන්න රජෙක් හෝ නායකයෙක් රටක් පාලනය කලයුත්තේ කෙසේදැයි දශරාජ ධර්මය තුලින් පෙන්වා දුන් ගෞතම බුදුන්වහන්සේගේ අනුගාමිකයෙකු වන සංඝ නායකයෙකු දෙන උපදෙස්. ඉනාමළුවේ හිමියනි, අපේ මහරජතුමා ඔබ ඔය දේශනාකල උපදෙසේ "මානව හිතවාදී" කෑල්ල අමතක කොට ඒකාධිපතියෙක් පමණක් වුනොත් (දැනටමත් එහෙමනෙ ඉතින්) ඔබ වහන්සේ කරන්නේ කුමක්ද?

ඔබවහන්සේලා මෙවැනි භයානක උපදෙස් දෙන්නේ කාගේ අවසරයකින්ද? මේ රටේ මිනිසුන් වන අපි ඒකාධිපතියෙකු යටතේ සිටිය යුතුයයි ඔබ නිගමනය කලේ කෙලෙසද? ඔබ වහන්සේගේ දායකදායිකාවන්, උවැසියන් පෝලිමේ පැමිණ, "අනේ හාමුදුරුවනේ, ජනාධිපතිතුමාට ඒකාධිපතියෙක් වෙන්න කියා අනුසාසනාවක් කරන්න, අපි හරි ආසයි ඒකාධිපතියෙක් යටතේ ගව ගාලක් වගේ පාලනය වෙන්න..." යනුවෙන් ඇවිටිලි කරනවාද?

ඒකාධිපතියන් යටතේ දියුණුවුනු රාජ්‍ය මොනවාදැයි ඔබ දන්නවාද? මුලු ලෝකයටම එවැනි රටවල් ඇත්තේ පහක්  පමණක් (සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව,චීනය, තායිවානය) බව ඔබවහන්සේට කවුරුවත්ම කිව්වේ නැත්ද? සිම්බාබ්වේ, උතුරු කොරියාව, ලාඕසය, බුරුමය, පකිස්තානය, කියුබාව සහ තවත් දුසිම් ගණනක් හිඟන රටවල් පාලනයවෙන්නේ (නැතිනම් මෑතක් වන තුරු පාලනය වුනේ) ඒ රටවල් වල පත්තර කියන විදියට "මානවහිතවාදී ඒකධිපතියන්" අතින් නොවේද?

දකුණු ඇමරිකාවේ තෙල් සම්පතින් අනූන වූ, සෑහෙන්නට දියුණු රටක් වී සිටි වෙනිසුවේලාව අද වනවිට සෘණ දල ජාතික නිශ්පාදිතයක හිමිකරුවා වෙමින් සිටින්නේ ( 2009 est. -3.3%, source : CIA World Factbook) මානව හිතවාදී හියුගෝ චාවේස් ඇමරිකාවට පාට් දමමින් ගැලරියේ වීරයා වෙන්නට ගොස් ඇනගැනීම නිසා නොවේද?

ඉනාමළුවේ හිමියනි, කරුණාකර මේ ගෙවෙන්නේ වැඩවසම් රාජකීය යුගය නොවන බව දැන්වත් අවබෝධ කරගන්න. කාගේවත් යටත්වැසියන් වී සිටීමට අපට අවශ්‍යය නැත. අපිට රජෙක් නුවමනාය. රජෙක් අවශ්‍යවී ඇත්තේ දීන මානසිකත්වයක් ඇති නුඹලාටය. ලෞකික සැපසම්පත්, බෙන්ස් කාර්, රාජානුග්‍රහය හා තාන්න මාන්න වලට ගිජුවී මේ රටේ මිනිසුන් වහලුන් කර ගැනීමට පාලකයින්ට උඩගෙඩි නොදෙන්න. නුඹලාගේ ඔය බක පණ්ඩිත අනුශාසනා නිසා මේ රටේ වසන්නට බැරි වන්නේ ඔබවහන්සේලාට නොව අහිංසක මිනිසුන්ටයි.

ඔබවහන්සේලා සියළු සැප සම්පත් විඳිමින්, රජ ගෙදර පරෙයියන් මෙන් ජීවත්වී අපවත්වූ විට මහජන මුදලින් රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය වෙයි. රටේ ජනතාවට වෙන්නේ නුඹලාගේ ආත්මාර්ථකාමී අනුසාසනාවලින් බලය තවත් තහවුරු කරගන්නා ඒකාධිපතියන්ගේ සපත්තුවට (නැත්තහොත් සෙරප්පුවට) පෑගී පවු ගෙවන්නටය.

Tuesday, August 24, 2010

ජනපතිතුමනි, සුද්දට ජංගි මහලා විකුණන්නට GSP+ සහනය ලබාගැනීම රටට කැළලක් නම් කොරියාවේ කක්කුස්සි හෝදන්නට අපේ කොල්ලන් කෙල්ලන් පාන්දර තුනේ සිට පෝලිමේ සිටීම ජාතික අභිමානයට කැළලක් නොවේද?

කොරියාවේ රැකියාවක් ලබාගැනීමේ පලමු සුදුසුකම වන කොරියානු භාශා ප්‍රවීනත්ව විභාගයට අයදුම් කිරීම සඳහා පාන්දර තුනේ සිටි දසදහස් ගණනක් තරුණ තරුණියන් පෝලිමේ සිටි බව වාර්තාවුනේ මේ නොබෝදායි. මෙයින් අපට පසක්වන්නේ කුමක්ද? අපේ රටේ තරුණතරුණියන් හට මේ රට හා එහි ගොඩනගා ගතහැකි අනාගතය පිළිබඳව සතපහක හෝ විස්වාසයක් නැති බවයි.

ජනපතිතුමනි, නිතරම දේශප්‍රේමය ගැන කතාකරමින්, තරුණයින්ට හිනාවෙන්න පුලුවන් අනාගතයක් ගැන නන්දොඩවන ඔබතුමාට, මේ කොරියන් විභාග අයදුම් පත් පෝලිම දුටුවිට, මෙවන් ඉච්ඡාභංගත්වයෙන් පෙලෙන තරුණ කැළක් ජීවත්වෙන රටක නායකයා වීම ගැන ලැජ්ජාවක් නැද්ද? ඔබතුමාගේ අයියන්ඩිය UDA එක හරහා කඩාබිඳ දමන්නට වලිකන කොළඹ මුඩුක්කු ජනපද මෑතක්වනතුරු හැඳින්වූයේ "කොරියාව" යන විශේෂණ පදයෙන් බව හොඳ සිංහලයෙකු වන ඔබතුමා දන්නවා ඇත. එහෙව් අතීතයක් හිමි රටක් අද දියුණුවේ හිණිපෙත්තට නැග අපට කසලශෝධක හා කම්කරු රැකියා දෙන්නට සිය රැකියා වෙළඳපොල විවෘත කරනවිට, ඒ කසලශෝධක/කම්කරු රැකියා වලට යන්නට උන්ගේ භාශාව ඉගෙන ගනිමින්, අපේ රටේ හිරිමල් තරුණකැල පාන්දර තුනේ සිටි පෝලිම්වල ලගිනවිට ඔබට පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නේ නැද්ද?

GSP+ සහනය යටතේ සුද්දන්ට ජංගි මහලා විකුණන එක ජාතික අභිමානයට මහත් කැළලක් බව අඟවමින් "උන්ගේ ජීඇස්පීය අපට වැඩක් නැත, දෙනවා නම් දීපියව් නැත්නම් නිකන් හිටපියව්!" කියන ඔබතුමාට, අපේ කොල්ලෝ කෙල්ලෝ කොරියන් කාරයින්ගේ කක්කුස්සි හෝදන්නට, පාරවල් අතුගන්නට, කුණු අදින්නට යන්නට පෝලිමේ ඉන්නවිට ඔබතුමා කයිවාරු ගහන හෙළ අභිමානයට කැළලක් බව හිතෙන්නේ නැද්ද?

ඔබතුමා බොරු කයිවාරු කෙලිමින්, ලොකුම කුට්ටිය ලැබෙන ව්‍යාපෘතිවලට කෙලවරක් නැතිව ණයගනිමින් රටේ අනාගතය බිල්ලට දේ. ඔබතුමාගේ පාරවල් හැදීමේ, වරායවල් ගුවන් තොටවල් හැදීමේ ව්‍යාපෘති නරකයයි/අනවශ්‍යයයි නොකියමි. එහෙත්, ඔය දැවැන්ත ව්‍යාපෘති අතලොස්ස හැරෙන්නට, මේ රටේ රැකියා උත්පාදනය සඳහා ඔබගේ රජය කර ඇත්තේ කුමක්ද?

වැඩියමක් නැත.

එහෙත් බොරු දේශප්‍රේමයක් ආරුඪකරගනිමින්, සුද්දන්ට දණ නොනමන්නේය යන පුහු තර්කයට, අඳබාල රටවැසියන් රවටන වහසිබස් වලට වසන්වී ඔබගේ රජය අතින් සිදුවන සාපරාධී ක්‍රියා ලොවට හෙලිවීම වැලැක්වීමට ඔබ රටව වාසිදායක වුනු GSP+ සහනය අහිමිවන්නට කටයුතු කලේය. ඔබ එසේ කලේ තනිකරම ඔබගේ පවුලේ ඥාතීන් ආරක්ශාකිරීමට මිස මේ රට සුද්දන්ගේ තර්ජන වලින් බේරාගැනීමට නොවන බව මොලේ කළඳක් ඇති, අරලියගහ මන්දිරෙන් විසිකරන බත් පැකට්ටුවට, අරක්කු කාලට වහ නොවැටුනු මේරටේ බහුතරයක් ජනතාව දන්නා බව ඔබ දන්නවාද?

ඔබට හා ඔබගේ පවුලට වාසිදායක වන, එහෙත් අනාගතයේ රට මරණමංචකයට වුවද ගෙනයා හැකි ඕනෑම කුහක, ආත්මාර්ථකාමී හෝ මෝඩ තීරණයක් ඉතා ඥාණවන්ත, නිර්භීත හා කාලෝචිත තීරණ බවට කිසිදු හිරිකිතයක් නැතුව රටට මුරගාන්නට හැකි පිරිසක් ඔබ යහමින් වීසි කරන බත්ගොටුවලට වහවැටී ඔබවටා කැරකෙන බවද අපි දන්නෙමු.

"GSP+ නැතිවුනාට අපනයන කඩාවැටෙන්නේ නෑ..." යනුවෙන් පත්තරවලට ප්‍රකාශ නිකුත්කරන අපනයන ව්‍යාපාරිකයින් යයි කියගන්නා වන්දිභට්ටයින් පිරිසක්ද මේ බත්ගොටු පිරිවරට අයත්ය. එවැනි උනට තම කර්මාණ්තශාලාවල සේවයකරණ අහිංසකයින් කීදාහක් පාරට වැටුනද කම් නැත. ඔබතුමාගේ ගොන් වැඩ වලට මුට්ටිය අල්ලා ප්‍රකාශයක් නිකුත්කොට, හෙමින්ම අරලිය ගහ මන්දිරයට රිංගා රක්ශිත වනයක හෝ ලෝක උරුමයක් අසබඩ හෝටලක් ඉදිකරගන්නට නීතිවිරෝධී අවසරයක් ඔබගෙන් හෝ හා ඔබගේ බලසම්පන්න ඥාතීන් අතින් ලබාගැනීම ඔවුන්හට අපනයන වෙළඳපොලේ තරඟකරණවාට වඩා බෙහෙවින් වාසිදායකය.

මේ හේතූන් නිසාම මේ රටේ අනාගතයක් ඇත්තේ ඔබගේ පුතුන්ට හා ඔබගේ ඥාතිමිත්‍රාදීන්ගේ දරුවන්හට පමණක්ම බව අද තරුණ තරුණියන් හට වැටහී තිබේ. එබැවිනි මේ තරුණ කැල ඉගෙන ගැනීමට අමාරු භාශාවක් වන කොරියානු භාශාව නැත්නම් ජපන් භාශාව හෝ ඉතාලි ඉගෙන ගෙන රට පනින්නට හදන්නේ. මෙසේ කොරියාවට, ජපානෙට හෝ ඉතාලියට පැනගන්නට වලිකන තරුණතරුණියන් රොත්තට අමතරව තවත් දස දහස් ගණනක් හෙමින් සීරුවේ අරාබිකරය බලා ගුවන්ගතවෙයි. මේ අතර යමක් කමක් ඇති දෙමව්පියන් ඉඩකඩම් උකස්කොට හෝ ගිණිපොලියට ණය ගෙන හෝ සිය දරුවන් එන්ගලන්තයට, අමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට හෝ කැනඩාවට පටවයි.මොවුන් සියලුදෙනාම රටහැර යන්නේ මානවහිමකම් කඩවන නිසා හෝ සුදු වෑන් පස්සෙන් එන නිසා හෝ නොවේ. ඔවුන් යන්නේ මේ රටේ අනාගතය ගැන ඔවුනට විස්වාසයක් නැති නිසාය.

එහෙව් රටක නායකයා වන ඔබ කරන්නේ කුමක්ද?

සීගිරි ගොස් බිතු සිතුවම් ආරක්ශාකර ගැනීම ගැන උපදෙස් දෙයි, දැනටමත් නවත්වා ඇති සීගිරිගලේ ඉදිකිරීම නවත්වන්නට උපදෙස් දෙමින් කාලය කයි, නැත්නම් හම්බන්තොට ගොස් වරාය/ගුවන්තොට හදන ඉංජිනේරුවන්ට උපදෙස් දෙයි. තව තවත් බොරු බයිලා කියමින්, ඔබ කියන ඕනෑම බොරුවක් බයිලාවක් දේවභාශිතය සේ රටට පෙන්වන මාධ්‍ය හරහා පිම්බෙමින්, මහත්වූ ව්‍යසනකාරී ගමන් මගක මේ රට ගෙනියයි. සුද්දන්ට රට පාවානොදෙන බවට මෝඩයින්ගේ ප්‍රීතිඝෝශා මධ්‍යයේ ශපත කරන ඔබ නිවාඩ් කබ්රාල් හා බැසිල් ලෝකය වටේ යවමින් ගිණිපොලියට සුද්දන්ගෙන් පමණක් නොව චීන්නුන්ගෙන්ද, ඉංදියන් කාරයින්ගෙන්ද ණය ගණිමින් රට උකසට තබයි. පෝයදාට රටට පෙනෙන්නට සිල්ගනියි, එහෙත් "අපි දෙන උපදෙස් පිළිගන්නේ නෑ" යනුවෙන් මල්වතු අස්ගිරි නායක හිමිවරු ඔබගේ බෞද්ධ රජකම ගැන සහතික නිකුත්කරයි.

ජපතතිතුමනි, ඔබ මේ කරන බොරුව ගැන අබැටක තරම්වත් පස්චාත්තාපයක් ඔබට නැද්ද?

නැතිනම් එයට කාලයයි මේ. අද චන්ද්‍රිකා ඉන්නා තැන බලන්න. එදා රට බේරාගත් වීරවරිය ලෙස මාධ්‍යවලින් පිම්බී සිටි චන්ද්‍රිකා මේ රටේ නූතන ඉතිහාසය ලියැවෙන අදවන විට සිටින්නේ මහපාරේය, අනාගතයේ ඔබ ගැන ලියැවෙනවිට ඔබ සිටිනු ඇත්තේ චන්ද්‍රිකා සිටින මහපාරටත් වඩා බොහෝ පහලින් ඇති කුණු කාණුවේය. අද ඔබ මකන්නට හදන ජෙනරාල් පමණක් නොව අනාගතයේදී ඔබත් මැකෙන බව අමතක නොකරන්න.

වයෝවෘද්ධ එළාර ද්වන්ධ සටනකින් පැරදවා පහසු ජයක් අත්පත්කරගත් තරුණ දුටුගැමුණු රජු ජාතියේ මහා වීරයා කල මහාවංශ ලියන්නන් වෙනුවට අද ඉන්නේ බලයේ ඉන්නකම් කට වගෙන ඉඳ බලයෙන් නෙරපුණු විට "චෞර රැජිණ" වැනි පොත් ලියන්නන් බව මතක නොකරන්න. දුටුගැමුණුට දෙමල මහා සෑය හදන්නට තරම්වත් හෘද ශාක්ෂියක් තිබුණු නමුත් ඔබට එවන්නක් නැති බව ඔබ දිනවූ මිනිසුන්හට ඔබ සලකන අයුරින්ම පෙනේ. යම් දිනක ඔබෙන් බැටකා විනාශ වුනු උන් ඔබගෙන් ඒ පලිය ගනු ඇත. අනාගතයේ "කාබාසිනියා රජතුමා" වැනි නමක් ඇති පොතක් ලියන්නේ උන්ගෙන් එකෙකුම වනු ඇත.චෞරරැජින ලියා අද වික්ටර් අයිවන් ඔබතුමාගේ හොඳම යාළුවෙකු වී සිටිනවා මෙන්නම "කාබාසිනියා රජතුමා" පොත ලියන එකා ඒ ආනිසංසයෙන් අනාගත ජනපති කෙනෙකුගේ හොඳම ගෝලයෙකු වනු ඇත.

ඔබ වාසනාවන්තනම් "කාබාසිනියා රජතුමා" පොතෙහි ප්‍රභාකරන් කලපුවේ මැරුණු කාලයේ ඔබ සේනාධිනායකයා වී යම් සාධනීය කාර්‍යභාරයක් ඉටුකල බව පවසන්නට එක් පරිච්ඡේදයක් හෝ වෙන් වනු ඇත. ඉතිරි පරිච්ඡේද සියල්ලම ඔබගේ විශම ක්‍රියා හා මෝඩ තීරණ මෙන්ම ඔබ නොකළ දේවල්වලින්ද පිරෙනු ඇත.

Monday, August 23, 2010

ජෙනරාල් ද්‍රෝහියෙක් කළ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ගේ සුදුකොඩි සටහන් පොත හෙවත් නොවුනු පෙරලිය! Fredricka Janz's infamoues white flag notebook : The scandle that wasnt!

ජෙනරාල්ගේ සුදු කොඩි කතාව,ඔහු කියූ ආකාරයෙන්ම ලියා ඇතැයි කියවෙන ෆ්‍රෙඩ්‍රිකා නෝනාගේ ඉන්ටර්විව් සටහන් පොත දැන් උසාවිය භාරයේ ඇත. එහි පිටු ගණන පවා ගණන්කොට, ෆොටෝ කොපි ගසා ආරක්ශිතව තබන ලෙස නඩුකාර උන්නාන්සේ පොලීසියේ මහත්තුරුන්ට උපදෙස් දුන්න බවට පත්තරවල ගියේය. පොලීසියේ මහත්තුරු ෆොටෝකොපි ගැහුවානම් හොර කොපියක් දෙකක් ආණ්ඩුවට ලීක්වුන බව අහන්නත් දෙයක්ද?

ඔය කියන සටහන් පොතේ ජෙනරාල් එවැනි කතාවක් පැවසූබව සැබැවින්ම සටහන් වී ඇත්නම්, ජෙනරාල්ගේ තරු ගලවා, පැන්ශන් කපා නවතින්නේ නැත. මේ වන විට ජෙනරාල්ව ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව හිරේ යවලා විතරක් නෙවෙයි, හිරේදී වස කවලා හෝ යම් අණතුරක් කරවා, නැතිනම් ඖශධ ලැබීම වලක්වා මේවනවිටත් ඔහුව මරාදමලාය, නැතිනම් පණාදින තත්වයටම ගෙනල්ලාය.

ජනතාවගේ ප්‍රශ්ණ සියල්ල හය මාසයකට අමතක කරවා ඩෙඟා නටන්නට, අමු කුණු කබ්බන් දේශප්‍රේමීන් කරවන්නට, කේ.පී සෙල්ලම අමතක කරවන්නට, ජී.එස්.පී සහනය අහිමිවීමෙන් රැකියා නැතිව මහමගට වැටෙන තරුණ-තරුණියන්ගේ දුක්ඛ-දෝමනස්සය යටපත් කරන්නට, ඒ ප්‍රවෘත්තිය තරම් දෙයක් මේ කපේදී ආණ්ඩුවට ලැබෙයිද? ඕනෑම මළකුණක් විකුනගෙන කන්නට හදන රජයේ මාධ්‍ය හා ස්වර්ණවාහිණිය වැනි රාජපක්සලාගේ උකසට සින්නවුනු රූපවාහිණී නාලිකා මෙය කරතබාගෙන රටවටේ නොදුවා සිටියිද?

මුසම්මිල්ව සල්ලිවලට ගැනීමේ නාටකය අධ්‍යකශණය කල, දැන් මොකක්දෝ හේතුවකට නැට්ට කැපී සිටින වීරවංශතුමාට මේවගක් යාන්තම් හෝ කනේ කණවැකුණානම් මාධ්‍ය සාකඡ්චාවක් තියා, "රණවිරුවන් පාවාදුන් ජෙනරාල්ව උල තියනු!" යයි කියමින් තවත් බිස්කට් උපවාසයක් පටන් නොගනිත්ද? "හෙල්ප් ග්‍රීන්" තේක්ක කාරයාව අල්ලලා මහා ජනතාසේවයක් කරපු බවට පාරම්බාමින්, මහ බැංකුවේ හෙළුව වසමින් පත්තර පඩංගුවල හෙඩ්ලයින් දාගෙන, හොරෙක්ව විකුණාගෙන කන්න තරම් බංකොලොත් ආණ්ඩුව, සුදුකොඩි කතාව ජෙනරාල් කියපු බවට ලිඛිත සාක්ශි ෆ්‍රෙඩ්‍රිකාගේ කුප්‍රකට සටහන් පොතේ තිබෙනවානම්, හාවක් හෝවක් නැතුව කටවහගෙන ඉන්නවායයි සිතන්නටවත් පුලුවන්ද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා බළු මයිලක් තරම්වත් ගණන් නොගන්නා මේ ආණ්ඩුව, සුදුකොඩි නඩුව තාම යන නිසා අධිකරණ ක්‍රියාදාමයට ඇති ගෞරවය නිසා විකුණාගෙන කන එක පසුවට කල්තබා තිබෙනවායයි සිතිය හැකිද?

ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි කතාවේ ඇත්ත සිද්ධිය නම් එය, ගෝඨාභය සමග අපහාස නඩුවකට බෙල්ල හිරවී හිටපු ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, වෘත්තීයමය මාධ්‍යකළාවක් ගැන ලෝකෙට බණ කියූ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, සිය බෙල්ල දං ගෙඩියට යන එක වලක්වාගන්නට, රාජපක්ශලා පුම්බන්න ලියූ ප්‍රබන්ධයක් පමණක්ය යන්නයි. අද ඒ යුධ වීරයා විඳින කරදර හිරිහැරවලට තමන්ද වගකිවයුතු බව සිතෙන විට ෆ්‍රෙඩ්‍රිකාට රෑට නිදාගැනීම එතරම් පහසුනොවන්නේ යයි උපකළ්පණය කල හැක.

අද සමහර සන්ධාන නකුටන්, බත් පැකට් එකට, අරක්කු කාලට ෆෝරම් වල ත්‍රෙඩ් දමන්නේ, බ්ලොග්වල කොමෙන්ට් දමන්නගේ මේ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් නැමති කපටි මාධ්‍ය ගණිකාව සිය නිදියහනේ තබාගිය රතුපාට පැල්ලම, හොරෙන් හැලූ රතු තීන්ත පැල්ලමක් මිස ඇයගේ කන්‍යා සලකුණ නොවන බව දැන දැනම බඩ ගෝස්තරය උදෙසා වීම කණගාටුවට කරුණකි.

නොහික්මුණු අසම්මත දේශපාලනය සාමාන්‍යකරණයකොට ආයතනගත කිරීම. (Normalisation & institutionalisation of political immorality)

දේශපාලන අශික්ෂිතකම් ගැන කතාකරනවිට නිතැතින්ම සිහියට නැගෙන්නේ අපේ ඉඳුරුවේ ...වැරදුනා කැළණියේ ආචාරියාය. එහෙත් කැළණියේ ආචාරියාට පෙර තවත් දේශපාලන අශික්ෂිතයෙකු මෙරට ගඳගැස්සුවේය. ඒ, ජා ඇල තුඩැල්ල හරියේදි කොටි ක්ලේමෝරයකට අහම්බෙන් දිවිපුදා චුත වුනු ද මූ දසනායකය. ඔහු මියගිය සමයේදී ඉතා නිහඬ චරිතයක් වුනත් කලක් කැළණියේ ආචාරියාට නොදෙවෙනි නැටුමක් සිය ගම් පෙදෙස වුනු ආනමඩුවේ නැටූ ගරා යකෙකු විය. ඒ චෞර රැජිනගේ පාලන සමයේදීය. චෞර රැජිනගේ බොහෝ පක්කලි වැඩ කරදුන් හිලව්වට ආනමඩුවේ කැළෑ ආණ්ඩුවක් ගෙනයාමට නිදහස ලැබූ දමූට ඉහලින් එදා කපුටෙකුවත් ඉගිල නොගිය බව ඔබට දැන් මතක් වෙනවා ඇත. එකල සියලු විපක්ශ ක්‍රියාකාරින්ට ආනමඩුව හා අවට ප්‍රදේශ තහනම් විය. විපක්ශ නායකයෙකු එනවිට පාරවල් වල ටයර් පුලුස්සා, කලුකොඩි දම්මවා, තාර බැරල් වරින් පාරවල් අවහිර කරවීම මොහුගේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය විය. විපක්ශ ක්‍රියාකාරීන්ගේ ගෙවල්, ව්‍යාපාරික ස්ථාන ගිණිතැබීම, වෙඩි තැබීම්, බෝම්බ ගැසීම එකල සුළභවිය. චන්දකාලයට ආණමඩුව එකම ගිණිවිජ්ජුම්බරයක් විය. පොලිස් සොක්කන් මෙන්ම ලොක්කන්ද පයිසෙකට මායිම් නොකල දමුට රජයේ ඉහල නිළධාරීන්ද දැක්වූයේ ඉමහත් බියකි.

දමු විරාජමාන වුනු කාලයේ, මා සමග සේවය කල මිත්‍රයෙකුගේ මව එක්තරා අමාත්‍යාංශයක නියෝජ්‍ය අධ්‍යක්ශකවරිය වූවාය. දිනක් චන්ද්‍රිකා ආණමඩුවේ සහභාගීවන උත්සවයක එම අමාත්‍යාංශය නියෝජනය කිරීමේ වගකීම ඇයට පැවරුණි. ඇය මා සමගම ප්‍රකාශකල ආකාරයට ඇය ඒ ගමන ගියේ යම් භීතියකිනි. ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරිණියක් වුවත් දමු ගේ බල පරාක්‍රමයට ඇය බිය වූවාය.

ඒකල දමූ වෙනුවෙන් ආණ්ඩුවේ ලොක්කන්, පොලිස් ලොක්කන් පෙන්වූ භය පක්ශපාතකමත්, අද කැළණියේ ප්‍රේතාචාරියා දුටුවන සුලුදිය පහවන්නටම බියවන පොලිස් හා හුන්ඩුවේ ලොක්කන් අතරත් වෙනසක් තිබේද? නැත, ඒ මන්දයත් එදා දමු යකා නැටුවේත්, අද ප්‍රේතාචාරියා යකා නටන්නේත් විධායකයෙන් කෙලින්ම ලැබෙන අනුබලයෙනි. එනම් දමු මෙන්ම ප්‍රේතාචාරියාත් සර්වබලධාරී විධායකයේ දශාවතාරයෙන් එක් උමතු අවතාරයකි.

කරුණු එසේවුවත් චන්ද්‍රිකාට යම් සාධාරණත්වයක් ඉටුකල යුත්තේ චන්ද්‍රිකා හොරකම, වංචාව හා දූශණය සාමාන්‍යකරණයකොට ආයතනගත කලත්, ඇය රජතුමා තරම්ම අසම්මතය දේශපාලන මෙවලමක් (immorality as a political tool) ලෙස භාවිතා නොකල නිසාය. පාර්ලිමේන්තුවේ එක් චන්දයක් පමණක් තිබෙද්දීත්, කෝටි ගණනින් භාන්ඩාගාර මුදල් විසිකිරීමේ හැකියාව සතුවෙත්දීත් ඇය විපක්ශ මන්ත්‍රීවරුන් මුදලට බිලිබාගැනීමට දැඩි වෑයමක් නොදැක්වූවාය. ඇය ඒ අරමුණ ඉටුකල ගත්තේ එස්.බී හා මංගලගෙන් ලැබුණු සටකපට දේශපාලන උපදෙස් මත ගොඩනගාගත් උප්පරවැට්ටි උපයෝගීකරගෙනය. ඇයගේ එකොලොස් වසරක පාලන සමයේදී ඇය ආණ්ඩුවට බඳවාගත්තේ රෝහිත බෝගොල්ලාගම, සරත් අමුණුගම වැනි අතලොස්සක් පමණි. තොන්ඩමාන්ලා, අශ්රොෆ්ලා සමග ඇය වෙනම ගේම් ගැසූ බවත් අශ්රොෆ්ගේ මරණින් පසු ඇය මුස්ලිම් කොන්ග්‍රසය දෙකඩ කලබවත් සැබෑය, එහෙත් ඇය රජපස කරනා තරමටම කරමින් ඒවා සාධාරණීකරනය නොකලාය.

අදවනවිට, මහරජතුමෙකු විසින් රාජ්‍යය විචාරන මේ සිංහල නට්සි රයිකයේ අසම්මත,නොහික්මුණු දේශපාලනක්‍රියා දේශපාලන සමත්කම හා නායකත්වයේ ජවය පෙන්වන නිර්ණායකයක් තරමටම ආයතනගතකොට ඇත.

මිනිසෙකුගේ සියලූම මානව අයිතීන් මෙන්ම ආත්ම ගරුත්වයද විනාශකරමින් ඔහුව ගස් බඳින විට, රටේ ජනප්‍රිමයයි තමන්ම කියාගන්නා ස්වර්ණවාහිණිය එය මහා වීරකමක් ලෙස තලු මර මරා සමීප රූපරාමු මගින් පෙන්වන්නේත්, එයටම නොදෙවෙනි ජඩ ෆොටෝග්‍රැෆර්ලා ඒ අහිංසක මිනිහා ගස් බැඳසිටිනවා උඩින් යටින් කිසිදු හිරිකිතයක්, සිත්වේදනාවක් හෝ අඩුම ගණනේ යම් පිළිකුළක් හෝ නොමැතිව ෆොටෝ ගහන්නේත් මේ අසම්මත,නොහික්මුණු දේශපාලන ජඩ ක්‍රියා මුලුමහත් සමාජයේම ආයතනගතවී, සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති නිසා නේද?

මේ රයිකය බිහිවුනේ ජවිපේ කරමතින් හා සංවිධාන ශක්තියෙන් බව නොදන්නා කෙනෙකු නැත. හන්දිගානේ ගිරියකඩාගෙන කෑගසමින්, රෑ දෙගොඩ හරියේ රටපුරා පෝස්ටර් ගසමින් එතුමා රජකිරීමට ජවිපෙ උන් මොනතරම් වෙහෙසක් ගත්තාද?ජවිපෙ කළ උදව්වට පයින්ගසා, අළුමතින් නැගීසිටින්නට වෙරදරන ඒ පක්ශය කෑලිවලට කඩා බිමදැම්මේ මොහොතක හෝ පසුතැවීමක් නොමැතිවයි. මොනතරම් තරුණ ජීවිත ඒ පක්ශය වෙනුවෙන් කැපවී දිවි පුදා ඇත්දැයි මොහොතකට හෝ සිතුවානම් එවන්නක් කරන්නේ නැත. ඉහල නැගි ඉණිමග කඩාබිඳ දැමීමේ ඒ ක්‍රියාව ජවිපේ දුර්වලකමක් හා තුමාගේ සමත්කමක් ලෙස පෙන්වන ලදී, කාටූන් අන්දවන ලදී. මෙයින් අදහස් කෙරෙන්නේ ජවිපය ඉතා හොඳ බව නොවේ. එහෙත් වලෙන් ගොඩ එන්නට උදව්කල මිනිස්සුන්ට මෙලෙස පන්න පන්නා ගසන්නේත්, එය සාධාරණීකරණය කරන්නේත් කොටියාට ගැසුවාටත් වඩා අන්ත ලෙසය. අද මහ කොටියන් මිතුරුවී ඇති බැවද අමතකලයුතු නැත. වෙනසට හේතුව පැහැදිලිය.

රනිල් සමග ගිවිසුමක් ගසා හැරෙන තැපෑලෙන් 17දෙනෙකු බිලිබාගත්තේය. එයද රනිල්ගේ නිවටකම හා තුමාගේ සමත්කම, පෞරුශය හා නායකත්ව ලක්ශණලෙස අර්ථ දැක්වින. මෝඩකමින් මෙන්ම පුද්ගලයින් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිකමෙන් පෙලෙන රනිල් මේ නොබෝදා යලිත් දෙන්නෙක් පූජාකලේ විහින් නිවටයෙකු වෙමිනි.

එතුමා දිනවන්නටම ස්ථාපිතවුනු ජාතික හෙළ උරුමයට බෙදුනේද ඒ හැන්දෙන්මය.පක්ශය ඉල්ලු කෙනාට නොදී තමාට ඉතා කීකරු පුරාවිද්‍යා චක්‍රවර්තිට මන්ත්‍රීකමක් දෙමින් ඉමහත්ලෙස උදව්කල හෙළ උරුමයටද කෙලින්නට උත්සහකල මුත් ගොනා හැරෙනවා බලාසිටි හෙළඋරුමේ මොලේ ඇති ගිහි/පැවිදි පිරිසක් චක්‍රවර්ති නායකකමින් පන්නාදමා තාවකාලිකව හෝ පක්ශය බේරාගති.

ඒ අනුව බලන කල අද ශ්‍රිලනිපය හැරෙන්නට වෙනත් දේශපාලන පක්ශ තිබෙන්නේ එතුමා කරතියාගෙන ගොස් පසුව කැඩී බිඳී වෙන්වීමට හා බලු බැනුම් ඇසීමටයි. මෙවැනි ක්‍රියා ශිෂ්ඨසම්පන්න සමාජයක් ඇති වෙනත් කිසිම රටක අසන්නට දකින්නට නැති ඉණපටියෙන් පහල දේශපාලන ක්‍රියාවන්වේ (below the belt). ලඟදී එලි දැක්වුනු දිගම්බරම් හා ගනේශන් වැට පැනීමේ නාඩගම කියවිය යුත්තේද මෙරට ආයතනගතවී ඇති ජඩ දේශපාලනය කියවන ඇස් කණ්නාඩියෙන්මය.

විපක්ශ දේශපාලන පක්ශයකට ආදරය කරන මිනිසුන් පිරිසක් සිය ධනය, දහඩිය මහන්සිය මෙන්ම දේපොල යානවාහනාදියත් ලංසුවට තබා වැඩකොට, චන්දය දී මිනිහෙකු එම පක්ශයෙන් පාර්ලිමේතුවට යවන්නේ පක්ශයේ මතවාදය ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවේ බලය සීමාකරීමටත්ය. ලංකාවේ දේශපාලනික පරිසරය අනුව SLFP රජ ජනපතිවරණය දිනූපසු කිසිදිනක UNP ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිබව දැන දැනත්, එක්සත් ජාතික පාක්ශිකයින් චන්දය දී මිනිසුන් පාර්ලිමේතුවට එවන්නේ තමන්ගේ ගමේ බෝක්කුව හදාගන්නට නොවන බව නොදන්නා මෝඩයෙකු නැත. බෝක්කුව හදාගන්නට නම් චන්දය දිය යුත්තේ දිනන බවට ඉර හඳසේ විස්වාස රජගේ පක්ශයේ බෝක්කු කටාලාටය.

ඒ අනුව විපක්ශයේ ඉඳගෙන අපේ ජනතාවට වැඩක් කිරීමට නොහැකි බවත් ඒ නිසා රජට මුක්කු ගැසීමට තීරණය කල බවටත් සිදම්බරම් හා ගනේසන් ඉදිරිපත් කරන තර්කය පට්ටපල් බොරුය. ජනපතිවරණය දිනූ රජගේ පක්සය පරදා මහ මැතිවරණයෙන් එජාපය දිනන බව හිතාගෙන එජාපෙන් චන්දය ඉල්ලුවානම් මුන් දෙන්නාම පල් මෝඩයින්ය. ඇත්ත එසේ නොවේ, කෙසේ හෝ කවුන්සිලයට රිංගාගත්පසු, රජපස කිසිදු හිරිකිතයක් නැතුව ඉල්ලන දෙයක් පොරොන්දුවී (ඉල්ලන දෙයක් දී නොවේ) ඔවුන්ව බිලිබාගන්න බව ඔවුන් හොඳින් දැනසිටියෝය.

දේශපාලන අශික්ෂිතකම සාමාන්‍යකරනයවී ආයතනගතවී ඇති ආකාරය මුන් දෙන්නාගේ ක්‍රියාකලාපයෙන්ම නොපෙන්නෙන්නේද? මුන් පක්ශයෙන් චන්දය ඉල්ලා ඇත්තේ පක්ශයට වැඩ කිරීමට නොව,පක්ශයත්, පාක්ශික චන්දදායකයිනුත් රවටා කවුන්සිලයට තේරීපත්වුනු පසු දොලපිදේනි සහිතව ආණ්ඩුපක්ශයට පැනගැනීමේ එකම අරමුණිනි. එසේ පැනීමට රජගෙන් නිසැකවම ආරාධනා ලැබෙන බව රජගේ කැරැට්ටුව දන්නා මේ කපටින් නිවැරදිව ගණන්බලා තිබුණි. පසුව ඒ කපටි වැඩය සාධාරණීකරණය කිරීමට කඩේයන ස්වාධීන මාධ්‍ය හා ආණ්ඩුවේ මාධ්‍ය හරහා කෙබර කෙලිමින් සංදර්ශණ පවත්වන ලදී. මේවාට උල්පන්දන් දෙන්නට, ඒවා රජගේ එළ ක්‍රියාවන් බව පෙන්වීමට මන්දිරෙන් බුරියානි කෑ පසු එතුමා අපහසුතාවයට පත්වෙන කාටුන් අඳින්නේ නැති ගොබ්බ කාටූන්කාරයෝද එක පෙලට සැදී පැහැදී සිටිති. මේ කුලීකාරයින්, කපටි දේශපාලුවන් කරන මේ නසරානි ක්‍රියාවන් විපක්ශේ පරාජය හෝ මෝඩකම නිසා බව පෙන්වන්නට හදන්නේ යූනුස් මතක්වෙන නිසාවෙන්ද නැත්නම් චිකන් කෑලි තවමත් දත් අස්සේ හිරවී තිබෙන නිසාදැයි කියන්නට නොතේරෙයි.

Lankadeepa 10/08/2010

වඩාත් භයානක දේනම් political immorality ක්‍රියාවන් දැන් දැන් කවුන්සලයේ ඔලුගෙඩි සෙල්ලම් වලින් මෙපිටට පැමිණි වෙනත් අරමුණු සාක්ශාත් කරගැනීම සඳහාද යෙදැවෙන බව පෙනෙන්නට තිබීමයි. මෙයට එක් නිදසුනක්, එක්තරා බ්ලොග් ලිපියක සටහනක් තැබූ සහෘදයෙක් ප්‍රකාශකොට සිටියේය. ඔහුට අනුව මිට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රූපවාහිණී චැනලයක රජයේ සේවකයින් පිරිසක් ජංගම දුරකථනවලින් කථාබහ කරමින් සිටිනා රූප පෙලක් පෙන්වමින්...."අඩුමිල දුරකථන ඇමතුම් නිසා කාර්යාලීය සේවකයින් වැඩ නොකර මොබයිල් ෆෝන් වලින් නන්දඩවමින් සිටින බව" පවසා එය TR‍C ලොක්කාගේ අවධානයට යොමුකර ඇත.

ඒ අමනයින්ට අනුව, රජයේ සේවකයින් වැඩ නොකර වෙනත් දේවල් කරමින් සිටීම TR‍C ලොක්කා අවධනය යොමුකලයුතු දෙයක් වී ඇත. එතකොට ඒ කාර්යාලවල ප්‍රධානීන්, අමාත්‍යාංශ ප්‍රධානීන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධානීන් සිටින්නේ පොල් ගාන්නටද? ඇයි ඔවුන්ගේ අවධානයට මෙය යොමු නොකරන්නේ? රජයේ රූපවාහිනී අමනයින් කරනදේ පැහැදිලිය. අඩුමිල පැකේජ වලට කෙලීමේ රජයේ උවමනාව සාධාරණීකරණය කිරීමට යොදාගන්නා අශික්ෂිත උපක්‍රමයකි මේ. රජයේ සේවකයින් රාජකාරි වෙලාවේ වැඩ නොකර උපහාර පැකේජයෙන් නන් දොඩවමින් සිටින බවත්, එය අහෝසි කරයුතු බවත්ය මුන් මේ නොකියා කියන්නේ. ඔනෑම දෙයක් වැඩිපුර හිතන්නේ මතන්නේ නැතුව පිලිගන්නා ශ්‍රී ලාංකිකයින්, මේ ගහල වැඩය තවත් ලෙහෙසිකරයි.

මේ විධියට ගියහොත්, කැළණියේ ආචාරියාට හෝ වෙනත් කපටි දෙස්පලුවෙකුට කාගේ හෝ ඉඩමකට, දේපොලකට වහ වැටුනහොත්, "....අහවල් ඉඩම, අහවල් දේපොල රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රනයකට/සමාජවිරෝධී ක්‍රියාවකට යොදාගැනීමට ඉඩ ඇත, ඒ නිසා ඒ ඉඩම/දේපොල රජයට අත්පත්කර ගැනීමට බලධාරීන්ගේ අවධානයට මෙයින් යොමුකරවනු ලැබේ...." කියලා නිවුස් යන්නටද බැරි නැත.

Thursday, August 19, 2010

යුද්දෙට වගේම හම්බන්තොට වරායටත් විරුද්ධවෙන එජාපයේ මෝඩ ප්‍රතිපත්තිය.

හම්බන්තොට වරාය විරුද්ධව නොයෙක් කතා එජාප නායකයින්ගෙන් ඇසේ.
  • කෝටි ගණන් ණයවෙලා, ඔය ණය ගෙවන්නේ කවුද/ කවදා?
  • නැව් එයි කියලා කොහොමද දන්නේ?
  • බංකර් තෙළුයි වතුරයි විකුණන්න මෙච්චර කෝටි ගණනක් මොකටද?
  • රාජපක්ශ පවුල මේකෙන් කොච්චර ගසා කන්නට ඇත්ද?
  • වෙන රටවල් මූද ගොඩ කරනවා, අපි මූද රට ඇතුලට ගන්නවා, මොන මෝඩ වැඩක්ද?
මේ එජාපය මේ දවස්වල අහන ප්‍රශ්ණ වැලයි. මේවා ඇහෙනකොට මටනම් හිතෙන්නේ එජාපය කවදාවත් පාඩමක් ඉගෙන නොගන්න වෘශභ රෑනක් බවයි. යුද්ධෙකාලෙ කියපු ගොන් කතා මතකනෙ? ඒවා ආයෙත් මෙතන ප්‍රතිවාදනය කරලා වැඩක් නෑ. දැන් තමයි යුද්ධෙ හොඳයි කියන්නේ. ඒත් පාඩම නම් තවමත් ඉගෙනගෙන නෑ. යූඇන්පී ඉදිරිපෙල කට්ටිය අහන ප්‍රශ්ණ ඇත්ත තමයි. හම්බන්තොට වරාය හදන්නේ චීන ආධාර ඇතුව නෙමෙයි. චීන බැංකුවකින් ගත්ත ණය මුදලකින් තමයි හදන්නේ. ඒවගේම ඒ ණය මුදලේ පොලියත් වැඩියි. රාජපක්ශ පවුල හොඳට හම්බකරගන්නත් ඇති. ඒ වගේම තමයි වරාය හදලා අවුරුදු දෙකක් තුනක් යනකම් කියන්න බෑ නැව් එයිද කියලා. සම්හරවිට මේ මුළු ව්‍යාපෘතියම සුදු අලියෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එජාප කට්ටිය අහන ප්‍රශ්ණ හරි.

එහෙමනම් ඇයි මම මේ ප්‍රශ්ණ මෝඩ ප්‍රශ්ණ විදියට හඳුන්වන්නේ?

මේ ප්‍රශ්ණ මෝඩ ප්‍රශ්ණ වෙන්න එකම එක හේතුවයි තියෙන්නේ. ඒ හේතුවම තමයි එජාපෙ මේ විදියට ගොඩ එන්න බැරි නරාවලක ගිල්වලා පක්ශය පැරදි පැරදී ඉන්න මූලික. ඒ හේතුව තමයි ජනතාව හිතන විදිය තේරුම් ගන්න එජාපයට ඇති පුදුම නොහැකියාව. මම කලින් ලිපියකත් මේ නොහැකියාව ගැන කතාකලා.

අපි මේ විදියට හිතමු;

ඔය වරාය ටිකෙන් ටික ටිකෙන් ටික ගොඩනැගීගෙන එනකොට, නිතර දෙවේලේ ඒදෙස බලාගෙන ඉන්න හම්බන්තොට හා ඒ ආශ්‍රිත දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ හිත්වල ගොඩ නැගෙන බලාපොරොත්තු කොයි වගේද? කාශ්ඨක පරිසරයක, නියඟෙන් බැටකමින්,හරිහමන් ජීවිකාවක් නැතුව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට තියෙන්නේම බලාපොරොත්තු විතරයි. වරාය ගොඩ නැගෙනවා බලාගෙන ඉන්න බිරින්දෑවරු හිතනවා ඇති, අනේ මගෙ මනුස්සයටත් ඔතන රස්සාවක් ලැබුණොත් අපිට කොච්චර වාසනාවක්ද? ඒ වගේම පාර අයිනෙ කටු මැටි පැලවල් වල ඉඳගෙන මීකිරි විකුණන තරුණ කොල්ලො කෙල්ලොත් ඔය වරාය ගොඩනැගෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති එක්කො වරායේ නැතිනම් වරාය ආශ්‍රිතව ඇතිවෙනවායයි කියන/සිතන කර්මාන්තශාලාවල, කන්තෝරුවක රස්සාවක් ගන්න. ඔය වරාය බොරු වැඩක්, ඕක අසාර්ථක වෙයි, සල්ලි නාස්තියක්, වෙන කරන්න වැඩ නැද්ද? කියන අහන එජාප නායකයින්ගේ කතා ඇහෙනකොට වරාය ගැන බලාපොරොත්තු වලින් හිත පුරවාගෙන ඉන්න අහිංසකයින්ගේ හිත් මොනතරම් කීරි ගැහෙනවා ඇත්ද?

එතකොට ඔය මිනිස්සුන්ට එජාපෙ නායකයෝ පේන්නේ තමන්ගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව නැති කරන්න, විනාස කරන්න ආපු යක්ශයෝ ටිකක් විදියට නෙමෙයිද? මේ විධියට එජාපෙ ගැන මිනිස්සු කළකිරුණට පස්සේ, මිනිස්සු ආණ්ඩුව කියන ඕනෑම බොරුවක් - ඒකියන්නේ එජාපෙ සුද්දට රට විකුණන්න යනවා, රට පාවා දෙන්න යනවා, සමුර්ධිය/පෝර සහනාධාරෙ කපන්න යනවා - කියන ඕනෑම කතාවක් පිලිගන්න සූදානම්. (මේ චෝදනාවල ඇත්ත, නැත්ත මෙතනදී සාකච්චාවට ගැනීමට බලාපොරොත්තු නොවෙමි).

ඒ විතරක් නෙමෙයි, හම්බන්තොට දැන් චීන කොළණියක් වෙලා, වරායේ වැඩකරන්න චීනෙන් කම්කරුවෝ ගෙනල්ලා වගේ බොරු කිව්වාට ඇත්ත ඒක නෙමෙයි. ලංකාවෙන් අඩු මිලට කම්කරුවෝ ගන්න පුලුවන් එකේ, චීනෙන් කම්කරුවෙක් ගෙනල්ලා, කන්ඩ බොන්ඩ දීලා, නවාතැන් දීලා, යන්න එන්න ගුවන් ටිකට්පත් දීලා වැඩ ගන්න එක ලාභ ලැබීමේ ප්‍රමාර්ථයෙන් වරායක් ගොඩ නගන සමාගමකට අන්තිම පාඩුයි. ඒ නිසා චීනෙන් ගෙනල්ලා තියෙන්නෙ මෙහෙ හොයාගන්න අමාරු තාක්ශණික වෘත්තියකයින්. වරායක් වගේ සංකීර්ණ ඉදිකිරීමක් සිදුකරන්න පලපුරුද්ද තියෙන තාක්ශණික ශිල්පීන් ලංකාව ඕනෑ තරම් බිහිකරලා ඇති ඒත් ඒතින් ඒ මිනිස්සු වැඩිදෙනෙක් ලංකාවෙ දැන් නෑනෙ. ඒ නිසා ගොඩක් තාක්ශණික ශිල්පීන් චීනෙන් ගෙන්නගන්න ඇති. තාක්ශණික ශිල්පීන් විතරක් නෙමෙයි, බර වාහන එලවන්න පළපුරුද්ද තියෙන රියදුරන්, ක්‍රේන්, ලෝඩර්, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්න පලපුරුද්ද තියෙන මිනිස්සු වුනත් ලංකාවෙ හිඟයි, වැඩිදෙනෙක් පිටරට ගිහිල්ලා.

ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට රස්සාවල් නොදී චීන්නුන්ට රස්සා දෙනවා කියන්නේ බොරු කතා, එක චීනෙකුට, ලංකාවෙ මිනිස්සු 10-15 ඔය වරායෙ වැඩකරනවා. ඒ මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් හම්බන්තොට හා අවට මිනිස්සු. මේ වරාය නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත වලටත් ටිකක් හරි සහනයක්, එලියක් වැටිලා ඇති. දුප්පත් වරාය කම්කරුවෙකුට වුනත්, ගිය සිංහල අවුරුද්දට බිරිඳට ඇඳුමක්, ළමයින්ට ඇඳුම් ටිකක් අරන්දෙන්න පුලුවන් වෙන්න ඇති. ඉතින් ඒ මිනිස්සුන්ටත් එජාපෙ කට්ටියගෙ කතා ඇහෙනකොට මොනවා හිතෙනවා ඇත්ද? අනිත් එක වරාය හදන්න පටන්ගත්තාට පස්සේ ඒ පැත්තේ පොඩි බිස්නස්කාරයාගේ පවා බිස්නස් දියුණු වෙලා.

ඉතින් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැති, එජාපෙ මහලොකු නායකයෝ, ගයන්තලා වගේ මාධ්‍ය ප්‍රකාශකලා අඩුම ගානේ ඒ පැත්තෙ ටිකක් ඇවිදලා, මිනිස්සුත් එක්ක කතාබහ කරලා, කරුණු හොයාගෙන ඇවිල්ලා කතා කරනවාවත් නෙමේනෙ. ගියත් යන්නේ සංවිධායකගෙ නැත්නම් පලාගෙ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර. ගිහිල්ලා කාලා බීලා අඩි පුඩි ගහලා එනවා. එච්චරයි. හම්බන්තොට වරායට බනින එක යූඇන්පී නායකයෙක්වත් වරායෙ වැඩකරන කම්කරුවෙක් එක්ක, ඒ ගොල්ලන්ගේ පවුලක් එක්ක, වරායන් නිසා අතමිට සරුවුනු පොඩි බිස්නස් කාරයෙක්, එලවලු ගොවියෙක්, කෑම කඩයක් කරන මිනිහෙක් එක්ක වචනයක් කතා බහ කරලා නැති බව මට විශ්වාසයි. ඔහේ ගිරව් වගේ හිතෙන් මවාගත්ත දේවල්, නැතිනම් කාගෙන් හරි අහුලගත්ත දේවල් කියනවා විතරයි.

මෙන්න මේ නිසයි මම කියන්නේ එජාපෙ හම්බන්තොට වරායට බැනලා, ආයෙත් කරගන්නේ මහාම මෝඩකමක් කියලා.

එජාපෙට අමතක වෙලා ඇති, ජේ ආර්ගේ ආණ්ඩුවේ ගාමිණී දිසානායක කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කරනකොට ඒ ව්‍යාපෘතියට මොන තරම් ශ්‍රිලනිපෙන් බැන්නද කියලා.ශ්‍රිලනිපෙ කවදාක්වත් මහවැලිය ගැන කටක් ඇරලා හොඳක් කිව්වේ නෑ . ඔච්චර බැන්නත් යූඇන්පීය පැරදුනාද? නෑ! හැම චන්දෙන දින්නා. මොකද, ශ්‍රීලංකා කාරයෝ කොච්චර බැන්නත්, මහවැලියට, විවෘත ආර්ථිකේට, නිදහස් වෙළඳ කලාපවලට බැන බැන හිටපු ශ්‍රීලනිප නායකයෝ හැමදාම පැරදුනා ඒ පලාත්වල මිනිස්සු ඒ ව්‍යාපෘතිවල ප්‍රථිලාබ ලබමින් සිටිය නිසා ජේ ආර්ගේ ආණ්ඩුව හොල්ලන්න පුලුවන්කමක් තිබුණේ නෑ.

මහින්දගෙ ආණ්ඩුවත් එහෙමයි, යූඇන්පිය ඔය වගේ සංවර්ධන ව්‍යාපෘතිවලට බනින්න බනින්න, යූඇන්පිය ගැන තියන සාමාන්‍ය මහජනතාවගේ විස්වාසය පිරිහෙනවා. යූඇන්පියට තියෙන්නේ බනින්න නෙමෙයි, අනාගත එජාප ආණ්ඩුවක් යටතේ ඔය ව්‍යාපෘතිය තවත් දියුණු කරන්නේ කොහොමද, තව රස්සාවල් වැඩිපුර දෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන්න් ගේ සංවර්ධන සැලැස්ම ජනතාවට කියන එකයි. එතකොට තමයි මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් ඇතිවෙන්නේ.

ඒකට ඉතින් අනිවාර්‍යයෙන්ම මහින්ද කරන්නේ හොඳ වැඩක් කියලා කියන්න වෙනවා. මහින්ද නෙමෙයි මහසෝනා වුනත් හොඳ වැඩක් කරනවානම් ඒක හොඳයි කියන්න එජාපෙට අමාරුවෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. එජාපෙ කට්ටිය බයවුනාට, මහින්දගෙ හොඳ ව්‍යාපෘති හොඳයි කිව්වයි කියලා මහින්දගෙ චන්ද ගොඩ වැඩිවෙන්නේ නෑ, හැබයි එජාපෙ ගොඩ අඩුවෙන එකනම් ටිකක් හරි නවතියි.

යුද්දෙට වුනෙත් ඕකමයි. අලිමංකඩ අල්ලන්න යනකොට පාමංකඩ යනවා කිව්වා, කිලිනොච්චියට ගහනකොට තව කටකැඩිච්ච කතා කිව්වා. ඒත් මොන කැප කිරීමක් හරි කරලා යුද්දෙ ඉවරයක් කරලා ඉන්න ඕනෙ කියලා හිතපු මිනිස්සු හැම චන්දෙන්ම එජාපෙ පැරැද්දුවා. ඒ කාලෙ යුද්දෙ හොඳයි කිව්වනම් ජාමෙ ගොඩ. දැන් අන්තිමට චන්ද ඔක්කොම පරදිලා, යුද්දෙ හොඳයි කියනවා.

හම්බන්තොට වරායටත් ඔය ටිකම තමයි. හොම්බ හොඳට බිම ඇනුනට පස්සේ කියයි වරාය හොඳයි තමයි කියලා. ඒකට ඉතින් තව චන්ද කීයක් පරදින්න වෙයිද මන්දා?

Wednesday, August 18, 2010

ඔයා මට අයිති නැත්නම් වෙන කාටවත් අයිතිවෙන්න දෙන්නේ නෑ! UNP, I Love you to death! - Ranil

From Lankadeepa 12/08/2010

තමන් ආදරය කළ පෙම්වතිය තමන් අතහැර වෙනත් එකෙකු සමග කූට්ටලි වුනු බව දැනගත් එක් සරසවි සිසුවෙක් ඇයට පිහියෙන් ඇණ තමන්ද පිහියෙන් ඇණගත්තේය. කෙල්ල මියගිය අතර, දිවිගලවාගත් කොළුවා මිනීමැරුමට හිරේ ගියේය. දෙන්නාම විනාසවිය, ඒ මීට වසර ගණනාවකට පෙරය.

තවත් කලකට පෙර රූමත් තරුණියක් හාදකරගෙන ඇයව අනාතකල රාගම පැත්තේ සල්ලිකාර සල්ලාල තරුණයෙක්, ඇය ඔහු හැරයාම ගැන උරණවී ඇයට නොයෙක් කරදර කරන්නට විය. උගෙන් බේරීමට හමුදාවට බැඳුනු කෙල්ල අනුරාධපුර කඳවුරකට අනුයුක්තවී සිටියාය. එහි ගොස් කෙසේහෝ බොරුගොතා ඇයව රවටාගෙන කඳවුරෙන් පන්නාගත් තරුණයා ඇයව සිය නිවසට රැගෙනවිත් ඝාතනයකලේය. සල්ලාල කොල්ලා මිනීමැරුමට මරණ දඬුවම ලැබූ අතර හමුදා සෙබලුන් පැමිණ තරුණයාගේ පවුලට අයත් කෝටිගණනක් වටිනා දේපොල ගිණිතබා විනාශකලහ. කෙල්ලත් ඉවරය, කොල්ලත් ඉවරය, කොල්ලගේ පවුලත් ඉවරය.

මේ වගේ ආදරයන් වලට කියන්නේ suicidal love කියලාය. ආදරයේ අවසානය දෙන්නාගේම විනාශය පමණක් නොව පවුලේ විනාශයද වේ.

රනිල් වික්‍රමසිංහ සිය පක්ශය වූ එජාපයට ඇති ආදරයත් suicidal love එකක් බව දැන් දැන් තහවුරුවෙමින් තිබේ. චන්දය පැරදුනුවිට හෝ යම් බලපෑමක් එල්ලවුනුවිට අගමැතිකම අතහැර කිසි හාහෝවක් නැතුව නැට්ට ගාත්‍රා මැද ගසාගෙන ගෙදර යන රනිල්ට, පක්ශනායකකම අතහැර යාමට ඇත්තේ පුදුම අකමැත්තකි, අමාරුවකි. අතහැර යනවාට වඩා පක්ශයත් විනාශකරගෙන තමනුත් විනාශවෙන එක හොඳයැයි එතුමාට හිතෙනවා වගේය. රටේ විශාලතම හා පැරණිම දේශපාලන පක්ශයට පඩිසන්දී ඇති කරුමයක මහත.

From Lakbima 13/08/2010

තමන් ලෝකයේ හොඳම, ස්මාට්ම, කියුට්ම කොල්ලායයිද, කෙල්ල තමාවෙනුවෙන් ඕනෑම අපායකට පැමිණිය යුතුයයිද සිතාගෙන සිටින සුයිසයිඩල් පෙම්වතුන් වගේ රනිලුත් හිතාගෙන ඉන්නේ අවුරුදු 16ක් තිස්සේ අනාතකරමින් තිබෙන පක්ශයට තිබෙන හොඳම නායකත්වය තමන් කියාය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන යහපාලනය ගැන දොඩවන රනිල් පක්ශය තුල හැසිරෙන්නේ මහින්ද හැසිරෙනවාටත් වඩා අන්ත ඒකාදිපති විධියටය.

මහින්ද ශ්‍රිලනිපය තුල එකාධිපතියෙක් ලෙස හැසිරුනාට සමාවක් දෙන්නට පුලුවන්ය. ඒ මනුස්සයා එහෙම හැසිරෙන්නේ පක්ශයෙන් කිසිම සහයක් නැතිව ජනපතිවරණ එකක් නොව දෙකක්ම දිනලාය. පක්ශය දිනවා චන්ඩියා වීම කමක් නැත. රනිල් ලෝඩ් ෆකීර් වගේ හැසිරෙන්න්නේ හැම චන්දෙම පැරදිලාය, දින්න එකම එකත්, බහුතරයකුත් තියාගෙන නිවටයෙක් වගේ පාවාදීලාය. එහෙව් මිනිහා හිතාගෙන ඉන්නේ සජිත්ලා, රවීලා, දයාසිරිලා, ලක්ශ්මන් සෙනෙවිරත්නලා පක්ශයට ආදරේ නැත කියලාය. ඕල්ඩ් බෝයිස් තක්කඩි රොත්තක් හා පක්ශය, විපක්ශයේම තියාගෙන ආණ්ඩුවෙන් ව්‍යාපාරික වාසි හා වෙනත් වාසි ගන්නට හොර ඩීල් දමාගෙන ඉන්න එවුන් ගේ සටකපට කතාවලට රැවටී රනිල් ඔය කරන්නේ යූ ඇන් පි යේ මළගම ඉක්මන් කිරීමය.

ඇත්තටම රනිල් ගැන එස්.බී ලඟදී කියපු කතාවක් ඇත්ත කියලා හිතෙනවාය. එස්.බී කියන විධියට රනිල් කියන්නේ විලිලැජ්ජා සංගයක් නැති ඇවිදින මලමිනියක් වගේ මිනිහෙකුටය. ඇත්ත වෙන්නට පුලුවන්ය. 2006 සාකඡ්ඡාවට ගොස් 17 නැතිකරගත් මේ අමනයා 2010දී දෙකක් නැතිකරගත්තේය. විලි ලැජ්ජාවක් නැති මේ බූරුවා දැන් ආයෙත් තුන්වෙනි පාරටත් රජගෙට රිංගලාය. මේ අවලම් වැඩය සාධාරණීකරනය කරන්නට වැඩබැරි මහලේකම් තිස්ස කියන්නේ ආණ්ඩුවට තනියම වුවත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුලුවන් නිසා අපි රෙදි නැතුව සාකච්ඡාවට යනවා කියලය!

අනේ මේවගේ මහලේකමෙක් ඉන්න පක්ශෙකට දෙයියන්ගේම පිහිටය. ඇයි ඇයි මහලේකම්තුමනි (මම කලින් ලිව්වේ ' ඇයි බූරුවෝ කියලා' ඒත් ඒ වචනෙ මහලේකම් තිස්සට ගලපුනත් ලිපියට නොගැලපෙන නිසා වෙනස්කලා)  ආණ්ඩුව හිතුමතේට ව්‍යවස්ථාවක් ගේන්න යනවානම් ඒකට විරුද්ධව රටම නැගිට්ටුවාගෙන පාරට බහින්නට නුඹලාට සංවිධාන ශක්තියක් නැද්ද? ලක්ශ කීයක් මිනිස්සු එජාපෙට චන්දේ දෙනවාද? ඔයින් සීයට එකක් පාරට බස්සගන්න නුඹලාට බැරි නුඹලා ඇත්තටම දේශපාලන දේශපාලණික වශයෙන් අප්‍රාණික හා බෙලහීන නිසාද තිස්ස?

යන්න! ගිහිල්ලා රණසිංහ ප්‍රේමදාස ජනපතිට සහයෝගය දුන් පංසල් වලට ගිහින් බැනුම් අහගෙන හරි ඒ හාමුදුරුවරුන් ශේප් කරගනිල්ලා. වෘත්තිය සමිතිටික ශක්තිමත් කරලා ඒවායෙ ඉන්න වැඩ නොකරන හොර නායකයින් පන්නලා අලුත් මිනිස්සු දාපල්ලා. පන්නපු එවුන්ට බය නැතුව කියයන්න ජනපති දෑත සක්තිමත් කරන්න ඒ පැත්තට යන්න කියලා. සමෘධි නිළධාරීන්, කෘෂි නිළධාරීන්, ග්‍රාමසේවා නිළධාරීන් හා සමස්ථ රාජ්‍යසේවයේ රාජ්‍ය නිළධාරීන් අතර විස්වාසය ගොඩනගන්න පටන් ගන්න. මහන්සිවෙනකොට, කළ්පනාවෙන් වැඩකරනකොට ප්‍රථිපල හෙමින් හෙමින් එයි. තව අවුරුදු 6ක්ම තියෙනවා. දැන් පටන්ගත්තොත් අවුරුදු 6 ඉවරවෙනකොට රජතෙමේට සුලුදිය අමාරුව හැදෙන බලවේගයක් ගොඩනගා ගන්න පුලුවන්.

මහින්ද දිනන්නේ මහින්දගේ ශක්තියට වඩා නුඹලාගේ නොහැකියාව නිසා. මහින්දගේ සියලු සතුරන්ට එකතුවෙන්න පුලුවන් පොදු නිවහනක් බවට එජාපය පකරන්න. ජවිපෙත් එක්ක තියෙන 88/89 කාලෙ පරණ කෝන්තර අමතක කරන්න. ජවිපෙ පොඩි වුනත්, කැපවීමක් තියෙන කොල්ලෝ එතන ඉන්නවා. එතකොට අඩුම ගානේ,පක්ශය දැන් හරි ට්‍රැක් එකේ යන්නේ, දිනන්න පුලුවන් කියලා පාක්ශිකයින්ට හිතන්න පටන් ගනී. ඒ සිතුවිල්ල ඇතිවුනාට පස්සේ මිනිස්සු යක්කුවගේ වැඩකරන්න පටන්ගනී.

හැබැයි ඒ ඔක්කොටම ඉස්සෙල්ලා කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නවද තිස්ස? රනිල්ව පන්නලා දක්ශ නායකයෙක් පත්කරගන්න උදව්වෙන්න. ඔබතුමාත් ගෞරවනීය විදියට පෙන්ශන් ගිහිල්ලා නව නායකයාට කැමති ලේකම් කෙනෙක් පත්කරගන්න දෙන්න. රනිල්ට පක්ශය මරාගෙන මැරෙන්න ඉඩදෙන්න එපා. එයා දැනටමත් මැරිලා ඉන්නේ. UNPය තව ජීවත්විය යුතුයි.

Monday, August 16, 2010

පෙරහැර නැරඹීමට මහනුවරට එන ජනතාවට කාරුණිකව සලකන්න! නැත්නම් විනය පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් වන්න!- ජ්‍යෙෂ්ඨ නි. පොලිස්‌පති පොලිස්‌ නිලධාරීන්ට දන්වයි

"පෙරහැර නැරැඹීමට පැමිණෙන මහ ජනතාවට සුහදශීලීව හා කාරුණිකව සලකන්න. නැත්නම් විනය පරීක්‍ෂණයකට මුහුණ දීමට සුදානම් වන්නැයි මහනුවර පෙරහැර සමයේ රාජකාරියේ නියුතු පොලිස්‌ නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි නවරත්න මහතා ඊයේ (15 වැනිදා) දැනුම් දුන්නේය.

බුද්ධාලම්බන ප්‍රීතියෙන් දළදා වහන්සේට උපහාර දැක්‌වීමේ අරමුණෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන ජනතාවට සුහදව ආමන්ත්‍රණය කර අවශ්‍යතා ඉටුකර දෙන ලෙස පෙරහැර සම්බන්ධයෙන් විවිධ ස්‌ථානයන්හි විවිධ රාජකාරියේ යෙදී සිටින සෑම තරාතිරමකම පොලිස්‌ නිලධාරියකුටම උපදෙස්‌ ලබා දෙන ලෙස පෙරහැර සේවයේ නියුක්‌ත කණ්‌ඩායම් භාර උසස්‌ නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසීය.

මහජනයාට අකාරුණික වූ බවට පැමිණිලි ලැබුණ හොත් පළමුව අවවාද කිරීමටත් දෙවනුව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමටත් පියවර ගන්නා බව නවරත්න මහතා පැවැසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර : දිවයින - 16/08/2010"

මහනුවර පෙරහැරට රාජකාරි වලට එන පොලිස් රාළහාමිලාට දැන් කොච්චර කේන්ති ගියත්, මෝඩයා, බූරුවා, ගොනා යන වචන පාවිච්චිකරන්න බැරිවෙලා. පොලිසියේ ලොකුතැන් වලින්ම, සත්තමක් ඇවිල්ලා.

ඇයි මේ වෙනසට හේතුව?

ලෝකයේ සීලාචාර රටවල පොලීසි සිය සේවාදායකයින් වන ජනතාවට සලකන විධිය අපේ ආචාර්‍ය පොලිස්පතිතුමාට වැටහිලාවත්ද?

මමනම් හිතන්නේ නෑ එහෙමයි කියලා. හැබැයි ලැජ්ජා හිතිලා තියෙන බව නම් පේනවා. මේ ලඟදි සිය බිරිඳ හා දරුවන් එක්ක දළදා වඳින්න ආපු, මායිම් ගම්මානවල සේවය කරපු පොලිස්සැරයන් වරයෙකුට මාලිගාව ලඟ පොලිස් උත්තමයෙක් බැන වදිලා, මෝඩයා, බූරුවා වගේ වචන භාවිතා කරලා. දරුවනුයි බිරිඳයි ඉදිරියේ ලැජ්ජාවට පත්වුනු ඒ මනුස්සයා පැමිණිල්ලක් දාලා, මට මෙහෙමනම්, ජනතාවට කොහොම ඇත්ද කියලා.

කොහොමටත් එදා ඉඳම්ම මහනුවර නගර පොලීසියේ ක්‍රියාකලාපය බොහොම උද්ධඡ්ඡයි. පිට නගරවලින් මහනුවට එන දහස් ගණන් රියදුරන්ට මහනුව නගරයේ තියෙන එක අතකට වාහන ධාවනය කිරීමේ සැලැස්ම එකපාරටම තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා නිතරම වැරදිලා වන්-වේ පාරවල් වලට හරවනවා. එතකොට ඉතින් බලන්න එපායැ කැන්ඩි පොලීසියේ සැර. "කොහෙද අයිසෙ යන්නේ, මාරග සංඥා අඳුරන්නේ නැද්ද? ගන්නවා ලයිසොන් එක!" සාමාන්‍යයෙන් අහන්නෙ වෙන්නේ මේවගේ ගෝරනාඩුවක්. අර මිනිහා කොච්චර කියන්න හැදුවත් මම වන්-වේ සළකුණ දැක්කේ නෑ, මේ පාර වන්-වේ කියලා මම දන්නේ නෑ කියලා, අනුරාධපුරෙන් ආපු ඩ්‍රයිවර් කෙනෙකුට වුනත් කොළයක් ලියනවාමයි. ඒ මනුස්සයා ඉතින් දළදා වඳින්න ඇවිල්ලා දඩත් ගෙවලා හිතත් නරක්කරගෙන යන්න ඕනෙ.


ඒ විතරක් නෙමෙයි, මාලිගාවෙ රාජකාරි ඉන්න පොලිස් රාළහාමිලා හිතාගෙන ඉන්නෙත් දළදා හාමුදුරුවෝ එයාලගෙ පෞද්ගලික බූදලයක් කියලා. දළදා හාමුදුරුවෝ වඳින්න පහන් සංවේගය උපදවාගෙන එන, මාළිගාවේ මහජන පාලන වැඩසටහන ගැන දන්නේ නැති අහිංසක මිනිස්සු කොච්චර මේ අසීලාචාර පොලිස් කාරයෙන්ගෙන් බැනුම් අහනවාද? මේ මෝඩ ෆොලිස්ලා හිතාගෙන ඉන්නේ මාලිගාවට එන මිනිස්සු මලිගාවේ තියෙන සමහර මෝඩ, මිනිස්සුන්ට වදයක්වෙන විරිධ ක්‍රියාමාරග ගැන හැමෝම හොඳින් දැනගෙන ඉන්න අවශ්‍යයි කියලා. එහෙම දැනුවත් කරන්න වැඩසටහනක් තියෙනවානම් කමක් නෑ. ඒත් මේ අසීලාචාරයෝ මේ වා මුකුත් නොදන්න මිනිස්සුන්ට අපහාස වන විධියට බනිනවා.දළදා හාමුදුරුවන්ට පිහිට ඉල්ලාලා භාරයක් වෙන්න එන මනුස්සයා, දුක කියන්න එන මනුස්සයා, ආශිර්වාද ගන්න එන මනුස්සයාට දළදා හාමුදුරුවෝ දැක ගන්න ඉස්සෙල්ලා මේ යුනිෆෝම් චන්ඩි හිත කළකිරවනවා.

හැබැයි සාධාරණව කතාකරනවා නම් මේක මහනුවරටයි, දළදාමාලිගාවෙ රාජකාරි කරන පොලිසියටයි විශේෂයෙන් තියෙන අසනීපයක් විධියටයි මට පේන්නේ. (මම මේ කතා කරන්නේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව රාජකාරි කරන පොලිස් නිළධාරීන් ගැන විතරයි )

මොකද මේ රටේ විශේෂ ආරක්ශාව ඇති බෞද්ධ පූජනීය ස්ථාන තව හුඟක් තියෙනවා. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය හා අටමස්ථාන ඉන් විශේෂයි. ඒ වගේම, තන්තිරිමලේ, කතරගම වගේ සිද්ධස්ථානවලටත් පොලිස් හමුදා ආරක්ශාව තියෙනවා.

ඒත් මගේ පෞද්ගලික අත්දකීම අනුව නම්, මහනුවර නගර පොලිසිය හා දළදා මාලිගාවේ පොලීසිය තරම් මහජනයාට අකාරුණිකව සලකන සිද්ධස්ථානයක් වෙන නෑ. කොටි කටේ වගේ තිබුණ ජයශ්‍රී මහා බෝධියට කොතරම් ආරක්ශාව සලසලා තිබුණත්, එතනට වඳින්න පුදන්න, බෝධිපූජ කරන්න, බෝධිය යට භාවනාකරන්න එන බැතිමතුන්ගේ හිත රිද්දන්න එතන රාජකාරි කරන පොලිසිය කටයුතු කරන්නේ නෑ. හැබයි ඒකට මාලිගාවේ පොලීසිය. ඇඟට ගොඩවෙන්නම තමයි බලාගෙන ඉන්නේ. වලව් උණ ගහලද දන්නේ නෑ.

කළබලේට වැට පනිද්දී රජතුමාගේ සරම වැටේ පැටළුනාවත්ද?

ජෙනරල් වැරදිකරු කියලා, විත්තියේ නීතිඥයෝ එක්කෙනෙක්වත් නැති වෙලාවේ තීන්දු දුන්නා. හම්බන්තොට වරායේ වතුරු පුරවන්න 14වැනිදයි, 15වැනිදයි දෙකේම හම්බන්තොට දුවගෙන ගිය විධායක රජතුමා මේ කරදිවර ජංජාලය අස්සේම ජෙනරාල්ගේ දඬුවම අනුමත කොලා.

පත්තර වල බැනර් හෙඩ්ලයින් වැටුනා, බත්බැලයෝ, කක්කුට්ටෝ, ඔඩොක්කු කුක්කෝ සාදුකාර දිදි හුරේ දදා කරදියවර බලන්න දිව්වා.

හැබැයි බලාගෙන යනකොට වැඩේ ඩිංගක් හුටස් වගේ. ජෙනරාල්ගේ නීතිඥයෝ හිටියේ නැත්තේ අධිකරණ නිවාඩුකාලය නිසා. අධිකරණ නිවාඩුකාලය තිරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ මූලික මිනිස් අයිතුවාසිකමක් වන සේවා ස්ථානවලින් නිවාඩු ලබාගෙන සිය දරුපවුල් සමග විවේකයෙන් ගතකිරීමට අන් සියලු වෘත්තිකයින්ට වගේම නීතිඥයින් හා විනිසුරුවරුන්ටත් තියෙන අයිතිය.

දැන් බලාගෙන ගියාම විත්තියේ නීතිඥයෝ නැති යුද්ධාධිකරණයක, අධිකරණ නිවාඩු දින වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකොට ප්‍රසිද්දියට පත්කල දවස් 5ක් එක දිගට නන්-ස්ටොප් විභාග කරලා තමයි තීන්දුව දීලා තියෙන්නේ.

එකත් එකටම, රාජ මන්දිරයේ ඉන්න දෙගාත් බූරුවෙක් උපදෙස් දෙන්න ඇති, "අරුන් නිවාඩු ගිහිල්ලා ඉන්නකොට වැඩේ දීලා දාමු.."   කියලා. වැඩිය මොලයක් නැති අය වැඩි නිසාත්, මොලේ ඇති එවුන් කියන ඒවා වැඩිය අහන්නේ නැති නිසාත්, යුද්ධාධිකරණය තනිකරම රජවාසලේ උපදෙස් පරදි යන "ප්‍රදර්ශණ නඩුවිචාරයක්" නිසා උපදෙසේ විධියට නූලට වැඩේ කෙරුණා.

හැබැයි ඔය මොළ-කුඩා උපදේශකලාට අමතක වෙලා තියෙනවා "අරුන් නිවාඩු ගියේ (අරුන්=ෆොන්සේකාගේ නීතිඥයෝ)" ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු දීපු, රටේ කිසිම අධිකරණයක් ක්‍රියාත්මක නොවන දවස්වල කියලා. අධිකරණ නිවාඩුකාලේ නඩුව අහන්න එපා කියලා ෆොන්සේකාගේ නීතිඥයෝ නීති‍යානුකූල ඉල්ලීමකුත් කරලා තිබුණ වෙලාවේ.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට/අභියාචනාධිකරණයට පෙත්සමක් දැම්මොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුලුවන්ද ෆොන්සේකාගේ නීතිඥයෝ නිවාඩු ගිය එක වැරදියි කියලා?


එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය/අභියාචනාධිකරණය නීතිඥයින්ගේ මූලික අයිතිවාසිකමක් කඩවෙන එක අනුමතකිරීමක් වෙනවා නේද?


එතකොට ඕනෑම හමුදා නිළධාරියෙක් යුද්ධාධිකරණයක් ඉදිරිය පමුණවලා, අධිකරණ නිවාඩු දිනවලදී, විත්තියේ නීතිඥයින් නැතිව නඩු අහලා ඕනෙම දඬුවමක් දෙන්න පුලුවන් වෙනවා නේද? එතකොට ශේෂ්ඨාධිකරන/අභියාචනාධිකරණ මොකටද? නිවාඩු කාලේ ඕනෑම එකෙකුට ඕනෑම දාඬුවමක් දුන්න හැකිනේ.

එකයි මම කියන්නේ මේ කරදිවරක් අස්සේ, කළබලේට, කරුණු කාරණා හොයන්නේ නැතුව, පුද්ගලික වෛරය පිරිමහගන්න ඔය හොර-යුද්ධාධිකරණයෙන් දීපු නීතිවිරෝධී තීන්දුව අනුමත කරපු එක රජතුමා කළබලේට වැට පනින්න ගිහිල්ලා සරම වැටේ පැටලිලා තියෙද්දී රජතුමා විතරක් අනෙක් පැත්තට පැන්නා කියලා.

එතුමා කරදියවර මංගල්ලෙට ගිහිල්ලා තියෙන්නෙත් යුද්ධාධිකරණ සරම වැටේ තියෙද්දිද කොහෙද.........

Sunday, August 15, 2010

ඇනෝනිමස් වහලෙකුට පිළිතුරු

පහත නිල්පාටින් දක්වා ඇත්තේ W3Lanka බ්ලොග් අඩවියේ පලවුනු - ඔහුව ඔසවා තැබූ වනචාරිත්වය ඔහුව පාවා දී ද ඇත යනුවෙන් සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණයෙන් ලබාදී, විධායකය විසින් අනුමත කරන ලද දඬුවම පිලිබඳව ලිපියට නම කියන්නට අකමැති වුනු පුද්ගලයෙක් දැමූ anonymous කොමෙන්ට් එකක copy+paste එකයි.

සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය.එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....

W3Lanka ලිපිය ගැන මට ගැටලුවක් නැත, එය කාලෝචිත ලිපියකි. එහෙත්, එහි ඇනෝනිම්ස් ලා විසින් දමා තිබුණු කොමෙන්ට් වලට පිළිතුරු සපයන්නට යාමේදි, කොමෙන්ට් මොඩරේට් පහසුකම ක්‍රියාත්මක කරවන බව දැනුම් දී තිබුණි. ඒ අනුව මොඩරේට් නොවී තිබුනු ඇනොනිමස් ගේ වසල කොමෙන්ටයට පිලිතුරු ලැබෙන්නේ පමාවී, ඇප්රූවල් ලැබීමෙන් පසුවය. ඒ නිසා මේ ලිපියෙන්, W3Lanka ලිපියේ කොමෙන්ට් දැමූ අකෘතඥ anonymous හට පිලිතුරු සැපයිමට බලාපොරොත්තු වෙමි.

සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...
ඇයි බලු ගැත්තෝ එතකොට,

  • මැරවින් ගේ යකා නැටීමට දඬුවම් පමාවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?
  • ළමා අපචාර චෝදනා ඇති විනිසුරුවන්ට විරුද්ධව ක්‍රියා කිරීම පමාවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?
  • පංසල් ඩෝසර් කරමින් හෝටල් හදන එවුන් ගැන නීතිය ක්‍රියාත්මක නොවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?


(තව කියන්න පුලුවන්, ලයිස්තුව අවසන් නොවන නිසා තුනකින් නවතිනවා)

තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය
KP කියන ත්‍රස්තවාදී නායකයා, අපේ හමුදාවේ මැරුණු හැම කොල්ලෙක්ම මරන්න, හැම අහිංසකයෙක්ම මරන්න ආයුද, පතරොම්, පුපුරණ ද්‍රව්‍ය නැව් පිටින් එවපු මිනිමරුවා රජ ගෙවල්වල සැපෙන් ඉන්නේ ඌ මේ ජාතියට කරපු සේවාව හින්දද?

එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....
අනේ ගොබ්බයෝ, ලෝකයේ රටවල් එක්ක බලනකොට, ලංකාව කියන්නේ පුක කහගන්න නියපොත්තවත් හරියට නැති, IMF ලෝන් එකේ පංගුව නිකුත් නොකලොත් හොම්බෙන් යන්න වෙන රටක්, අපි ජාත්‍යන්තරයට පාඩම් උගන්වන්න යනවා කියන ඔය පම්පෝරිය රාජපක්ශලාගේ හීනමානය ලෝකෙටම කියන මෝඩ ප්‍රකාශයක්. නුඹලා වගේ වහලුන්ටත් ඉතින් ස්වාමියාට තියෙන හීනමානයම ඇති මගෙ හිතේ....

තාරුණ්‍යයට හෙටක්?


"තරුණ ඔබ කෙරෙහි අප විශ්වාසය තබා තිබෙනවා. ඔබ වැනි තරුණ පිරිස්‌ තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් මේ නිදහස රැකගෙන ඉදිරියට යා යුතුයි. රට සංවර්ධනය කරමින් විනයගරුක සමාජයක්‌ ගොඩනැඟීමට ඔබගේ දායකත්වයත් කැපවීමත් තියෙන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගකීම වගේම මේ රටත් ඔබට භාරයි. රට තුළ යහපත් සමාජයක්‌ ගොඩනැඟීමට ඔබ සැමට ආරාධනා කරනවා." - ජාත්‍යන්තර තරුණ වර්ෂය සැමරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. (දිවයින-13/08/2010)

ජනාධිපතිතුමා කියන මේ කතාව එතරම් පිලිගන්නට අමාරුයි නේද? මේ රටේ තරුණයින් ඇස්, ඉස්, මස්, ලේ දන්දී රට බේරාගත් බව ඇත්තකි. එහෙත් ඒ සඳහා නායකත්වය සැපයූවේ පරිණත, අත්දැකීම් බහුල ආරක්ශක ලේකම් වරයාත්, උපායශීලී විශිෂ්ඨ සේනාපතියෙකු වුනු ජෙනරාල් ෆොන්සේකා හා අනෙකුත් හමුදාපතිවරුන්ය. එහෙම නොමැතිනම් යුද්ධය දිනන්නට තිබුණේ මීට කලින්ය. ජෙනරාල්ට පහරගහන්නට ආණ්ඩුවම ප්‍රකාශකල පරිදි, ඉස්සර තිබුණේත් මේ හමුදාවමය, වෙනස්වුනේ නායකත්වය පමණි.

තාරුණ්‍යයේ ඇති විශිෂ්ඨත්වය නම් යම් අරමුණකට එළඹිකල බාධක මැඩගෙන ඒ ඉලක්කය කරා යාමට ඇති හැකියාවයි. යුද්ධයේදී මෙන්ම ආදරයේදීත් තරුණයින් එසේය. ජනාධිපතිතුමා කියන ආකාරයට මේ තරුණ ජවය රටේ සංවර්ධනය සඳහා යොමුකර ගැනීමටනම් ඔවුන්ව ඒ අරමුණ වෙත යොමුකොට එහි එලබවිය හැකි හික්මුණු, පරිණත නායකයින් ඔවුනට මග පෙන්විය යුතුය.

එහෙත් ජනපතිතුමනි, අද මේ තරුණ කැලට එවන් නායකත්වයක් ලැබේද?

අද බලන බලන තැන ඇත්තේ නොහික්මුණු අශිලාචාරබවයි, අවනීතියේ රජවීමයි. සමාජයේ බහුතරය සියලු නීතිරීතිවලට යටත්වුනත් බලවත් සුලුතරයට ඒ නීති කිසිවක් නැත. රියැදුරෙකු අතින් පදිකයෙකුට අණතුරක් වුවහොත් පොලීසිය නීතිය උපරිමයෙන් ක්‍රියාකරවයි, එහෙත් ඒ රියදුරාගේ බලවත් අනුග්‍රාහකයෙකුගෙන් පොලීසියට දුරකථන ඇමතුමක් නොලැබෙනතාක්ය. මෙයින් තරුණයින්ට දෙන පණිවුඩය කුමක්ද? විනයානුකූලව, නීතිගරුකව රියපැදවීම මෝඩයින්ගේ, චමින්දලාගේ වැඩය. අවශ්‍යවන්නේ ලොක්කෙකුගේ පුතෙකුගේ යාලුවෙකු හෝ බලවතෙකුගේ සේවකයෙකු වීම පමණකි. එතකොට ගන්ජා උරමින් පේමන්ට් එකේ රිය පැදෙව්වත්, කහඉරි උඩ බඩදරු අම්මලා යට කෙරුවත් කමක් නැත. නීතිය ක්‍රියාත්මක කරන රාළහාමි කෙනෙක් වෙතොත් කිලිනොච්චි යාමට බෑග් පැක් කරගතයුතුය. ගන්ජා තරුණයාත් වාහනයත්
පැයෙන් එලියේය.

දරුවා ලෙඩවීම නිසා ශ්‍රමදානයට නොපැමිණි සමුර්ධි නිළධාරියා ගස්බැඳුනාට අමතරව කැමැත්තෙන් බැඳගත්තායයි ලියුම්ද ලියා දිය යුතුය. එහෙත් ඩෙංගු වසංගතය මෙරට වෙලාගැනීමට වගකිවයුතු හිටපු සෞඛ්‍ය ඇමතියාත්, ඔහුගේ නායකයාත් යෙහෙන් වැජබේ.

ජනාධිපතිතුමා විනයගරුක සමාජයක් ඇතිකරන්නට තරුණයින්ට කතාකරන්නේ මෙවැනි සමාජයක් රටට උරුමකරදුන් නායකයා ලෙස වීම කණගාටුවට කරුණකි. මේ රටේ අවනීතිය රජකරවන්නේ එතුමාගේ රජයට සම්බන්ධ පුද්ගලයින් විසින්ය. මේ හැම දෙයකටම රජපක්ශ පවුලට බනිනවායයි වරදවා වටහාගත යුතු නැත. එහෙත් මර්වින්ට වුවත් එතුමා දඬුවමක් දෙන්නේ බැරිම තැන ඉතා අකමැත්තෙන් බව අපට විශ්වාසය. එසේ සැක මතුවන්නේ කලින් සිදුකරන ලද ඊටත් වඩා බරපතල ක්‍රියාවලදී නියපිටින් පහරක් හෝ නොවැදුන බව ජනතාව හොඳින් දන්නා නිසාය. මුලු රටේම පිලිකුලට බඳුන්වුනු මෙවැන්නෙකුට ක්‍රියා නොකරනවානම්, වෙනත් අවනීතිවලට කෙසේ ක්‍රියාකරයිද? ජනපතිට වගකීම ඇත්තේ එතනය.

රජයට කත් අදින්නන්ට හැර අන් සැමට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක් අද ඇත. මෙහි බලාපොරොත්තුව මිනිසුන් තමන්වෙත රඳවාගැනීම බව අපට විශ්වාසය. එහෙත් එහි ඇති අණතුර නම්, හැමෝම නීතියෙන් ප්‍රතිශක්තිය ලැබීමට (be immune from law) රජයට මුක්කු ගැසීමයි. එය වාසියක් ලෙස සිතුවත් ඇත්තටම අවාසියකි. මන්දයත් සියල්ලන්ම පාලකයින් වූකල, පාලිතයින් නැතිවූකල රජයක් පවතින්නේ කෙසේද යන ගැටලුව පැන නැගීමයි. හැමෝම බොස්ලා වෙන්නට ගියාම කොයි ව්‍යාපාරයත් බන්කොත්වෙන බව ලෝක සත්‍යයකි. කුක්-අප්පුලා වැඩිවුනුවිට ඩිනර් එකට කෙලවෙන්නේත් එලෙසමය.

අද රටේ තරුණයින් වැඩි දෙනෙක් ඉතාලි පනින්නට, කොරියාවට පැනගන්නට නැත්නම් අඩුම ගණනේ මැදපෙරදිග රැකියාවකට රට හැර යන්නට බලාපොරොත්තුවන බව නොරහසකි. සියලු වරප්‍රසාද අම්බැට්ටයින්ටම ලැබෙන, තරුණයන්ට නායකයින්ගේ කටින් මිස වෙනත් ආකාරයකින් හව්හරණක් නොලැබෙන රටක රටේ සංවර්ධනයට තාරුණ්‍යයට අඬගැසීම විහිලුවකි. "...ඔය බයිලා වලින් වැඩක් නෑ, මම රට පනිනවා...." ගොඩක් තරුණයින් හිතන්නේ එහෙමය.

රටේ තරුණයින් පැත්තකට දමා නායකතුමාගේ නව යොවුන් ලොකු පුතා දෙස බලමු. නාමල් යනු මැරවින්ගේ පුත් මාලක මෙන් නයිට් ක්ලබ් වල වැසිකිලි තුලට වැදීගෙන හෙරොයින් උරන පිස්සෙක් නොවේ. ඔහු ගුණයහපත් තරුණයෙකි. පියා රාජකාරි අධික දේශපාලන නායකයෙකුව සිටියදී මෙවැනි හොඳ පුතාලා තුන්දෙනෙකු හදාවඩාගත් ශිරන්තී මැතිණියට අවංකවම අපගේ ප්‍රණාමය පුදකල යුතුය. ඇය හොඳ මෑණියන් කෙනෙකි.

එහෙත් අවාසනාවට අද නායකතුමා නාමල්ව යවන්නේ වැරදි පාරකය, ඒ අනුව තාරුණ්‍යයට දෙන්නේ වැරදි පණිවුඩයකි. එතුමා නාමල් කුමරුට ඉහලට නැගීමේ ශෝට් කට් පෙන්වමින් සිටී. රටේ සංවර්ධනයට ශෝට්-කට් නැතුවාසේම රටේ නායකත්වයටද ශෝට්-කට් නැත. අද විපක්ශ මන්ත්‍රීන් බිලිබාගැනීමේ වැඩසටහන නාමල් හා බැසිල් මාමා තරඟයට මෙහෙයවන බව ඇසේ. විපක්ශ මන්ත්‍රී ජෝඩුවක් සිය පක්ශය හා චන්දය දුන් ජනතාව පාවාදී ආණ්ඩු පක්ශයට එකතුවුනු විට නාමල් ද එහි සිටියේය . සැබැවින්ම අවාසනාවකි, දක්ශ නායකයෙකුට ආණ්ඩුපක්ශය තුල මෙන්ම විපක්ශයතුලද ප්‍රසාදයක් තිබිය යුතුය, එහෙත් අද නාමල්?

නැගී එන තරුණ නායකයෙකු පුහුණුවිය යුත්තේ මිනිසුන් මුදලට වරප්‍රසාදවලට, බිලීබාගැනීම නොව මිනිසුන් හම්බ කිරීමටයි. මේ රටේ දැවැන්ත නායකයින්, මහින්ද ජනපතිතුමාද ඇතුලුව, බොහෝ සෙයින් මිනිසුන් හම්බුකල නායකයින්ය. මුදලට ගන්නා ගනේශන්ලා බලය නැති කල සාවුන් මෙන් පැනයයි. බලය නැති කාළයකදී ඉතුරුවන්නේ හම්බුකල මිනිසුන් පමණකි. ජනපතිතුමාගේ යුතුකම තරුණ නාමල්ට මේ ටික කියාදීම මිස වයසින් මෙන්ම අත්දැකීම් වලිනුත් නොමේරූ නාමල් මෙවැනි සටකපට ක්‍රියාවලට පුහුණු කිරීම නොවේ. ඔහු මේවා දැනගත යුතුය, එහෙත් ඊටකලින් ඔහු දැනගත යුතු දේවල් බොහෝය. අද නාමල් ආණ්ඩුපක්ශයේ බොහෝ මන්ත්‍රීන් හා මැති ඇමැතිවරුන් අතර එතරම් ජනප්‍රිය චරිතයක් නොවන්නේ මේ ශෝට්-කට් නිසාය. නාමල් පස්සේ වැටී සිටින අය එසේ සිටින්නේ නොමේරු නාමල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමටත් නායකතුමාගෙන් ලකුණු දාගැනීමටත් පමණක් බව නොදනේ නාමල් පමණක්ම විය හැකිය.

නාමල්ට දේශපාලනයේ මූලික පුහුණුව එනම් බූට්-කෑම්ප් පුහුණුව ලබානොදී ස්නයිපර් ට්‍රේනින් දෙන්නට යාමෙන් සිදුවන්නේ වෙඩි තැබීමට හැකි, එහෙත් උවමනාවූ විට පණබේරාගෙන දුවන්නටවත් නොදන්නා දේශපාලන සෙබලෙක් බිහිවීම මිස යුද්ධ ජයගතහැකි දේශපාලන සෙන්පතියෙකු බිහිවීම නොවේ. පණබේරාගන්නට දිවීම සෙබලෙකුට අත්‍යාවශ්‍ය පුහුණුවකි. හමුදා පුහුණු පාසැල්වල වෙඩිතියන්නට උගන්නන්නට පෙර දුවන්නට හා දිවිගලවාගන්නට උගන්වන්නේ එබැවිනි. දැන් නාමල්ට ලැබෙන crash-course-to-leadership පුහුණු පාඨමාලාවෙන් සිදුවන්නේ දේශපාලන දැවැන්තයෙකු බිහිවීම වෙනුවට මුලින් පිම්බී පසුව හැකිලෙන දෙශපාලන සක්විති කෙනෙකු බිහිවීම බව ඉතාමත් අකමැත්තෙන් වුවද කිව යුතුය. නාමල් වැනි හොඳ කොල්ලෙකුට එසේ කීමට වීම දුකකි. එහෙත් සැබෑ මිතුරන් යනු කිවයුතු දෙය මුහුණටම කියන්නන් මිස බොරු මූනිච්චාවට මුට්ටි අල්ලන්නන් නොවේ.

සක්විතිද දක්ශ තරුණයෙකි, එහෙත් ධනයට, බලයට කෙටි පාරවල් සෙවීම නිසා අද ඔහු හිගන්නෙකි. රාජපක්ශලා බොහෝකාලයක් මේ රටේ දේශපාලන නායකත්වය ආණ්ඩුපක්ශයේ හෝ විපක්ශයේ සිට හොබවනු ඇති. එහෙත් ඒ සැම රාජපක්ශවරයෙකුගේම මුල් නම මහේන්ද්‍ර පර්සි නොහොත් මහින්ද නොවනු ඇත. දේශපාලනයේ survival training ලැබිය යුතුකාලයේ නොලබන, මිනිසුන් සල්ලිවලට ගැනීමට මිස හම්බුකිරීමට නොදන්නා නාමල් එවැනි භූමිකාවක කෙසේ තැනක් ලබාගනියිද?

ඒ අනුව බලනකල රටේ නායකත්වය බාරගන්නට ඉන්නා නාමල්ට නොලැබෙන නිවැරදි මගපෙන්වීම සංවර්ධනය නියමුවන් වන්නට අඬගහන රටේ අනෙකුත් තරුණයින් හට ලැබෙන්නේ කෙසේද?

එතකොට ජනාධිපතිතුමා කල කථාව ගත යුත්තේ කෙසේද? - එයත් වෙනදා කරන කතා මෙන්ම තවත් එක් කථාවකි, නැත්නම් පොලිටිකල් ස්පීච් එකකි.

Saturday, August 14, 2010

"පැල්පත් කඩාපි" - Part II

Headline, DailyMirror - 13/08/2010

ආර් ප්‍රේමදාස මහත්තයා "පැල්පත් කඩාපි" ලෙස හැඳින්වූයේ 1976 අවුරුද්දේ කොළඹ නගරසභාවේ නගරාධිපති පදවිය හෙබවූ ෆවුසි මැතිතුමාය. ෆවුසිට ආර් ප්‍රේමදාස මහත්තයාගෙන් පැල්පත් කඩාපි නම්බුනාමය ලැබුනේ නොබැඳි සමුලුව වෙනුවෙන් කොළඹ නගරය පියකරු නගරයක් කිරීමේ උතුම් චේතනාවෙන් කොළඹ දුප්පත් මිනිසුන් විසු පැල්පත් මුඩුක්කු පොඩි පට්ටම්කොට ඒ අහිංසකයින් වෙනත් ප්‍රදේශවලට පන්නා දැම්ම නිසාය.

"සමුළුවට ගඩාෆි ආපි! ෆවුසි පැල්පත් කඩාපි!" දුප්පතාගේ හැබෑ හිතවතා වුනු ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේතුවේදී ආණ්ඩුව පතුරු ගැහැව්වේ එහෙමය.

"පැල්පත් කඩාපි" දෙවන මෙහෙයුම නිළවශයෙන් ඇරඹුනේ අයිෆා උළෙලට කොළඹ නගරය සූදානම් කිරීමේ කටයුත්තක් ලෙසයි. කොළඹ නගරය පුරා අනවසර ඉදිකිරීම් ලෙස සැළකුනු පෙට්ටිකඩ, පදිකවේදිකාවට වෙනතෙක් කඩයේ ඉස්තෝප්පුව ඉදිරියට ගෙන ආ අවස්ථා, විවිධ මඩු අටවාගෙන පදිකයින්ගෙන් පදික වේදිකාව උදුරාගත් අවස්ථා වැනි නීති විරෝධී ඉදිකිරීම් හා ගොඩනැගිලි කඩා ඉවත් කරන ලදී. ලේඛකයාද ඇතුලුව මෙරට බොහෝ දෙනෙක් රජයේ මේ ව්‍යායාමයට සහය දැක්වූවේ මේ පදිකවෙළඳුන් හා අනවසර ඉදිකිරීම් නිසා මහජනයාට හිරිහැරයක් වනවා මෙන්ම කොළඹ නගරය මුඩුක්කු නගරයක (shanty town) සිරි ගනිමින් තිබුණ නිසාය.

දැන් මේ මෙහෙයුමේද දෙවන අදියරට පැමිණ තිබේ. එනම් පැල්පත් හා මුඩුක්කු ඉවත් කිරීමේ මෙහෙයුමයි. සැබැවින්ම මේ මෙහෙයුමේ පෙර-පුහුණුව (ඩ්‍රෙස් රිහසල් එක) පැවැත්වූයේ ආරක්ශක විද්‍යාලයට තව ඉඩ අවශ්‍යයයි කියමින් ඔප්පු පවා තිබුණු මියුස් වීදියේ පදිංචිකරුවන් පන්නා දැමීමෙනි. විපක්ශනායකයා පාර්ලිමේතුවේදී ප්‍රකාශකොට සිටියේ මේ මිනිසුන් පන්නා දැමුවේ එම වටිනා ඉඩම සුපිරි නිවාස සංකීර්ණයක් තැනීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ සිටුවරයෙකුට ලබාදීම සඳහාය. එහෙත් සුපුරුදු පරිදි දින දෙක තුනකින් විපක්ශ නායකතුමාට එය අමතකවී ඇත. දැන් දෙතුන් වතාවක් එතුමා ජනපති හමුවුනත් මේ මිව්ස් වීදියේ දුපපතුන්ට පොරොන්දුවූ පරිදි විකල්ප ස්ථාන ලබාදුන්නේද යන්න ඇසීමට එතුමාට අමතක වෙන්නට ඇත. ප්‍රේමදාසගෙන් ඔප්පු ලබාගත් ඒ මිනිසුන් අද ප්‍රේමදාස මහත්තයා හිටියානම් යනුවෙන් සුසුම් හෙලනවා ඇත.

අගෝස්තු 13වැනි සිකුරාදා ඩේලි මිරර් පත්‍රයේ හෙඩ්ලයින් එකට අනුව දැන් මේ පැල්පත් වාසින් පන්නා දැමීමේ මෙහෙයුම නිළවශයෙන් පටන්ගැනීමට සූදානම්ය. සාමාන්‍යයෙන් හැමදේට කොලේ වහන, ගැලවිජ්ජාවෙන් පිළිතුරුදෙන අනුර ප්‍රියදර්ශණ යාපා හොර බොරු නැතුව මෙහෙයුමේ ඇත්ත අරමුණ කියා තිබේ. එනම් මේ මුඩුක්කු (අනවසර පදිංචිකරුවන් සිටින ස්ථාන) වානිජමය වශයෙන් ඉතාමත් වටිනා බිම් කඩවල් වේ. එම රජයේ ඉඩම් සංවර්ධනය කිරීම සිදුවිය යුතුය.

බොහෝවිට රජය විවේචනය කරන පුද්ගලයෙකු වුවත්, මම පෞද්ගලිකව රජයේ තීරණයට එකඟ වෙමි. මේ ඉඩම් වල වානිජමය වටිනාකම කෝටි ගණනකි (පර්චසයක් මිලියන දෙක බැගින්, අක්කර 78ක් කල්බදු දීමට බලාපොරොත්තුවේ). එහෙත් මේවාවල අනවසරයෙන් පදිංචිවී සිටිනා මිනිසුන් ඉන් ඉවත් කිරීමට නොහැකිවී ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙනි. මේ කුඩා බිම්කඩවල් වල පවුල් සියගණනක් එනම් පුද්ගලයින් ලෙස ගත්විට 500-1500 දක්වා පදිංචිව සිටී. ඒවා නගරයේ දේශපාලකයින්ගේ වටිනා චන්ද කුට්ටි වේ. එම චන්දකුට්ටි අහිමි කරගැනීමට ඔවුන් කිසිසේත් සූදානම් නැත. මේ ජාතික හා ප්‍රාදේශීය දේශපාලකයින් වෙනුවෙන් මේ මුඩුක්කු ජනපදවල නොනිළ පාලනය ගෙනියන්නේ එම දේශපාලකයින්ගේ පාතාල ගෝලයින් විසිනි. ඒ නිසා මෙම බිම්කඩවල් පැහැදිලිවම කුඩු ව්‍යාපාරය, ගණිකා ව්‍යාපාරය, හොරබඩු ජාවාරම වැනි සමාජවිරෝධී ක්‍රියාවල මූලස්ථානය වෙයි. දේශපාලකයින්ගේ රැකවරණය නිසා පොලිසියට මේ ප්‍රදේශ තහනම් ප්‍රදේශ වේ. වඩාත් සුළභ වන්නේ පොලිස් ලොක්කන්ගේ අනුදැනුම ඇතුවම මේවා සිදුවීමයි.

ජනපතිවරයා ඉතා සූක්ශම ආකාරයට මේ ප්‍රශ්ණය දෙස බලා ඇතිබව නාගරික සංවර්ධන අධිකාරිය සිය සොයුරු ගෝඨාභය රාජපක්ශ මහතාට පැවරීමෙන් පෙනීයයි. ජනපතිවරයාගෙන් පසු රජයේ ඉතාම බලසම්පන්න පුද්ගලයා වන ගෝඨාභය දේශපලකයෙකුද නොවන නිසා ඔහු මේ ගැටලුව දෙස බලන්නේ දේශපාලකයින් බලන ආකාරයට චන්ද කුට්ටිවලට ගිජුකමකින් නොවේ. ඔහු මේ දෙසබලන්නේ පරිපාලනමය හා ව්‍යාපාරික කෝණයකින් පමණකි. ඒ නිසා කුමන රජය ආවත් හොලවන්නට බැරි මේ අනවසර පදිංචිකරුවන් කිසිදු අපහසුවකින් තොරව, අවශ්‍ය නම් බලය යොදා පිටමන් කිරිමේ මේ හැකියාව ඔහුට ඇත.

බලසම්පන්න දේශපාලකයින් සෙවනේ රැකෙන පාතාලයන්හට මුහුණදීමේ හැකියාව ඇත්තේද ඔහුටම පමණකි. ඒ අනුව, කොළඹ නගරය මෙන්ම අනෙකුත් නගරත් පිලිවෙලකට සැලසුමකට අනුව පාලනය කිරීමේ වැඩපිලිවෙල ජනපතිවරයා විසින් ඉතා හොඳින් සිතාමතා සිදුකල එකක් බව පෙනීයයි. එය ප්‍රසංශණීයය.

එහෙත් මේ ප්‍රශ්ණය තනිකරම වටිනා ඉඩකඩම් නිදහස් කරගැනීමේ චේතනාවෙන් පමණක්ම සිදුනොකල යුතුය. මන්දයත්, දුප්පතුන් වුවත්, මේ මිනිසුන් අප සමාජයේම කොටස්කරුවන් බැවිනි. අපට ඇති සියළු අයිතිවාසිකම් ඔවුනටද ඇත. එබැවින් ඔවුන් හට සුදුසු විකල්ප ස්ථාන ලබාදී, ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවන පරිදි මේ කාරිය සිදුකල යුතුය.මේ මිනිසුන් බොහෝවිට මෙම ඉඩම් වලින් ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශකරන්නේ ඔවුන්ගේ රැකියා කරගැනීමට නොහැකිවෙනවා යයි කියමිනි.එහි සත්‍යතාවයක් තිබේ. මේ මිනිසුන් බොහෝ දෙනෙකුට ස්ථිර රැකියා නැත. වැඩි දෙනෙක් හොකරුන් (hawkers) ලෙසත්, වරායේ අනියම් සේවකයින් ලෙසත් සේවය කරයි. තවත් කොටසක් කොළඹ කඩවල්වල, මැනිං මාකට්ටුවේ හා මාළු මාකැට්ටුවේ සේවය කරයි. තවත් සමහරුන් එම ප්‍රදේශයේම තේකඩ, කෑම කඩ වැනි සුලු ව්‍යාපාර කරමින් පසුවෙයි. මේ මොන ජීවිකාව කරගෙන ගියත්, ඔවුන් කොළඹ ආසන්නයේම පදිංචි නොකලහොත් ඔවුන්ගේ ජීවිකාව අඩාලවෙයි.

ප්‍රවෘත්ති සාකච්චාවේ කියවුනු කරුණක් අනුව දැනටමත් එවැන්නක් සිදුවිය හැකිබවට සැකයක් පවතී. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති (ගෝඨාභය රාජපක්ශ නොවේ, ජනක කුරුකුලසූරිය නැමැත්තෙකි ) කියන අන්දමට කොළඹ නගරය තුල විකල්ප නිවාස ලැබෙන්නන්හට සිය නිවාස සඳහා මිලක් ගෙවීමට සිදුවෙනු ඇත. කොළඹින් පිට තදාසන්න පෙදෙස්වල පදිංචි කරවන අයගෙන් නිවාස වලට මුදල් අය නොකරසිටීමට දැඩි වෑයමක් ගන්නවා ඇත.

මෙය නම් වැඩේ නොකෙරෙන තැනට නඩු හබ වැටෙන, නැත්නම් මිනිසුන් පාරට වැටෙන පිස්සු සැලසුමකි. ස්ථිර ආදායමක් නැති, ණයක් ගැනීමට ඇපකරුවෙකු සොයාගත නොහැකි, අඩුම ගණනේ බැංකු ගිණුම් වත් නැති මේ මිනිසුන් කෙසේ අලුත් නිවසකට ගෙවන්නද? නිවසක් මිලට ගන්නවා යන්න ඉහල මධ්‍යමපාංතිකයින්ටත් අමාරු කාරියකි. ස්ථිර රැකියා ඇති, වෘත්තීයමය මට්ටමේ රැකියා කරන පහල මධ්‍යම පාංතිකයින්ට නම් එය වසර 20-30 යනතෙක් ගෙවන්නට වෙන, ගඩොලින් ගඩොල ගොඩ නැගෙන සිහිනයකි. කරුණු එසේනම්, මේ දුප්පතුන් ගැන කවරකතාද?

නාගරික සංවර්ධන අධිකාරියේ නිසිබලධාරියා වන ආරක්ශක ලේකම්තුමා සමහරවිට ඇමරිකාවේ තත්වය මත හිඳගෙන ගණන් බලනවා විය හැකිය. ඇමරිකාවේ නම් ගෙවීමේ ශක්තිය අඩු, එතරම් විස්වාසදායි නොවන මෙවැනි ගනුදෙනුකරුවන් සඳහා වුවද විවිධ අන්දමේ නිර්මාණශීලී නිවාස උකස් සැලසුම් (house mortgague plans) මගින් නිවසකට උරුමකම් කීමේ වාසනාව ලැබේ. එහෙත් මේ ඇමරිකාව නොවේ.

ස්ථිර රැකියාවක් ඇති, අවුරුදු ගණනාවක ස්ථිර පදිංචියක් ඇති තමාගේම නිවසක අයිතිකාරයෙකුව වුවද හත්මුතු පරම්පරාවේම විස්තර ලබානොදී, දෙන්නෙකුට කන්කෙඳිරි ගා ඇපකරුවන් වෙන්නට කැමතිකරගෙන මිස මරුටියක් වැනි කුඩා වාහනයක් පවා ලීසින් කරගත නොහැකි මේ රටේ මේ මිනිසුන්හට වන්නේ ලස්සන සැළසුම් වලට ඉඩදී පාරවල්ගානේ උද්ඝෝෂණ කරමින් ගුටිකන්නට, හිරේ වැටෙන්නට පමණි. අපේ අහිංසක පොලීසිය මෙවැනි මිනිසුන්ගේ උද්ඝෝෂණ දුටුවිට ගේමට සෙට් වන හැටි අපිට හොඳින් දැක පුරුදුය. සැමදා වකුටුවී නිදාසිටින අහිංසක පොලීසිය අතපයේ හිරි ඇරගන්නේ උද්ඝෝෂණ මැඩලීමේ මෙහෙයුම් වලිනි.

එබැවින් ආරක්ශක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ ප්‍රශ්ණය දෙස රුපියල්ශත කෝණයකින් පමණක් නොබලන ලෙසයි. මේ මිනිසුන්හට බලයක් නැති වුනත්, ඔවුන් මනුශ්‍යයන් බැවින්, ඔවුනට සැලකිය යුත්තේ ඔවුන්ගේ ප්‍රශ්ණ මානුශික කෝණයකින්ද බැලීමෙනි. කොළඹ නගරය නූතන නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ ඔබගේ වෑයමට අපිදු ආශිර්වාද කරමු, එහෙත්, නගරය අලංකාර කරන අතරම මේ මිනිසුන්ද රැකගත යුතුය.